140. පියාලඵලදායක ස්ථවිරාවදානය
1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්‍මයකුදු මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
1937. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1940. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
තුදුස්වැනි සෝභිත වර්‍ගය යි.
උද්දානය:
සෝභිත සුදස්සන - චන්‍දන පුප්ඵඡදන
රහෝ චම්පකපුප්ඵී - අත්‍ථසන්‍දස්සක සහ
ඒකපසාදි සාලද - ඵලදායකැයි වත්දස
එය දෙසැත්තෑගකින් - පිඬු කොට මෙහි කියනලදී.
සෝභිත වර්‍ගය තුදුස් වැනි යි.
15. ඡත්ත වර්‍ගය
141. අතිඡත්තිය ස්ථවිරාවදානය
1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.
1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.
1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.
142. ථම්භාරෝපක ස්ථවිරාවදානය
1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.
1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.
1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.
1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.