123. පායාසදායක ස්ථවිරාවදානය
1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්ණවර්ණ වූ භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.
1793. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්ය්යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:
1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).
1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්යවත් සර්වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
1797. මෙයින් ඒකානූවන කපෙහි වූ එකල්හි මම යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කිරිබත්දනෙහි මේ විපාකය යි.
1798. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බුද්ධ නම් සක්විතිරජෙක් විය.
1799. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පායාසදායකස්ථවිරාවදානය තෙවැනි යි.
124. ගන්ධොදකිය ස්ථවිරාවදානය
1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්ය්යයාගේ (ප්රභාව) මෙන් උන්වහන්සේගේ ප්රභා විහිදෙයි.
1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්ධ නම් සක්විති රජෙක් විය.
1805. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
ගන්ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
125. සම්මුඛාත්ථවික ස්ථවිරාවදානය
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්යවත් තෙමේ දහම් දෙසයි.
1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්යවත් තෙමේ දහම් දෙසයි.