122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණයෙක් විය.
1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්‍රයන්හි විශාරදයෝ ද වූහ.
1778. (ඒ ශිෂ්‍යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්‍යඤ්ජන ඇත. මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසක් වෙති. ඛ්‍යාමප්‍රභා ඇති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
1779. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්‍යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්‍යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
1780. මම ඒ දිශාවට ද අප්‍රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීමි).
1781. “ශිෂ්‍යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්‍මය අසන්නෙමු” (කියායි).
1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
1783. සියලු ශිෂ්‍යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.
1784. මා විසින් විචාරණ ලද ඔහු යම් සේ බුදුරජුන් දක්නා සුලු වූවාහු නම් එසේ ම විස්තර කළාහු ය. මාගේ හමුයෙහි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනැවින් (වචනයෙන්) දැක්වූහ.
1785. මම ඔවුන්ගේ වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කලුරිය කෙළෙමි.
1786. ඔහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහු ය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහු ය.
1787. මම සුගත වූ මහර්ෂි බුදුරජානන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
1788. සතළිස් දහස්වන කපෙහි නමින් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම් වූ පෘථිවීශ්වර වූ අටතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1790. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵථූපියස්ථවිරාවදානය දෙවැනි යි.
123. පායාසදායක ස්ථවිරාවදානය
1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.
1793. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්‍ය්‍යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:
1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).
1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්‍යවත් සර්‍වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.