130. පදුමපූජක ස්ථවිරාවදානය
1862. හිමවතට නුදුරෙහි වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත් මහාභූත සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්‍වතයක් විය.
1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් අසපුවෙහි වෙසෙමි.
1864. “මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා! මට පියුම් ගෙණ එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේට පූජා කරන්නෙමු.”
1865. ඔහු එසේය යි මට පිළිවදන් දී පියුම් ගෙණාහ. එසේ ම මම (බුදුරජානන් වහන්සේ උදෙසා) නිමිත්තක් කොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
1866. එකල්හි ශිෂ්‍යයන් රැස් කරවා මම මනා කොට අනුශාසනා කෙළෙමි: “තෙපි පමා නො වවු. අප්‍රමාදය සුව එළවන්නේ වෙයි” (කියායි.)
1867. වචනක්‍ෂම (=කීකරු) වූ ස්වකීය ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්‍රමාදී ගුණයෙහි යෙදුනෙම් කලුරිය කෙළෙමි.
1868. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1869. එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජලුත්තම නම් සක්විතිරජෙක් වීමි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදුමපූජකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සෙරෙය්‍යක පුප්ඵථූපී පායාසී උදකි ථොමක
ආසනී ඵලසඤ්ඤී ගන්‍ධ පදුමපුප්ඵිය වත්ප
සක් වැඩි සියක් ගයින් මෙහි කියවිනි.
සෙරෙය්‍යකවර්‍ගය තෙළෙස්වැනියි.
14. සෝභිත වර්‍ගය
131. සෝභිත ස්ථවිරාවදානය
1870. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මහත් වූ ජනසමූහයාට අමෘතපදය (නිවණ) දේශනා කරණ සේක.
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙණ එකඟ සිත් ඇත්තෙම් වීමි. බුදුනුවණ ද මෙසේ පැසසීමි:
1872. “යම් සේ මහසයුර ජලාශයනට අග්‍ර වේ ද, සිනේරු පර්‍වතය පර්‍වතයනට අග්‍ර වේ ද, එසේ ම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම්, ඔහු බුදුනුවණින් කලාවකට ද නො පැමිණෙත්. (හැම නුවණට වඩා අග්‍රය” කියායි).
1873. එකල්හි කාරුණික ඍෂි වූ බුදුරජානන් වහන්සේ ධර්‍මන්‍යාය පිහිටුවා භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළ සේක:
1874. “ලෝක නායක බුදුරජුන් විෂයෙහි වූ නුවණ යමෙක් ප්‍රශංසා මුඛයෙන් පැවසී ද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.
1875. එකඟ ව සන්සුන් ව කෙලෙස් දවා නමින් සෝභිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).