121. සෙරෙය්යක ස්ථවිරාවදානය
1767. වේද හදාරන්නා වූ මන්ත්ර දරන්නා වූ වේදත්රයෙහි පරතෙරට ගිය–
1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්යාඝ්රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.
1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.
1770. මහාවීර වූ ලෝකනායක සර්වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.
1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.
1772. විස්මයජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්ය්ය ය දැක සුගත වු ලෝකනායක වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
1773. මම ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
1774. එක්දහස්පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්තමාල නම් පස්විසි සක්විතිරජකෙනෙක් වූහ.
1775. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්යක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළෙසේක් යී.
සෙරෙය්යකස්ථවිරාවදානය පළමුවැනි යි.
122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්වතයක් විය. ඒ පර්වතය අතුරෙහි මන්ත්රයන්හි පරතෙරට ගිය බ්රාහ්මණයෙක් විය.
1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්රයන්හි විශාරදයෝ ද වූහ.
1778. (ඒ ශිෂ්යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්යඤ්ජන ඇත. මහාපුරුෂලක්ෂණයෝ දෙතිසක් වෙති. ඛ්යාමප්රභා ඇති ඒ ජිනේන්ද්රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
1779. මන්ත්රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
1780. මම ඒ දිශාවට ද අප්රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්යයනට මෙසේ කීමි).
1781. “ශිෂ්යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්මය අසන්නෙමු” (කියායි).
1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
1783. සියලු ශිෂ්යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.