118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය
1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.
1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-
1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.
1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.
1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය
1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-
1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.
1750. (මෙසේ සිතන්නා වූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙමේ දැන ගෙණ හෙ තෙමේ මා දුකින් ගොඩ ගණු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
1751. “නුවණැත්තානෙනි, කවර හෙයින් ශෝක කෙරෙහි ද? බිය නො වනු මැනැව. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරජුන් විසින් සියලු දෙනාට කුශලබීජසම්පත්තිය නැවත නැවත දෙන ලදී.
1752. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේ නම්, එසේ ම පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම්-
1753. චිත්තප්‍රසාදය සම වූ කල්හි පින ද සමාන ය. මහත් බවට ගියේ ද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥධාතූන් පුදනු මැනව”.
1754. සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන් කොට) සෑයක් කෙළෙමි. බුදුරජුන්ගේ ඒ උතුම් සෑය පස්වසක් ම පරිචරණය කෙළෙමි.
1755. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ එ ම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට රහත්බවට පැමිණියෙමි.
1756. මෙයින් සත්සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිවු සක්විතිරජකෙනෙක් වූහ.
1757. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
120. ජාතිපූජක ස්ථවිරාවදානය
1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්‍වත සහිත පෘථිවිය කම්පිත වී ය.
1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.