120. ජාතිපූජක ස්ථවිරාවදානය
1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්වත සහිත පෘථිවිය කම්පිත වී ය.
1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්වයන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ සර්වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.
1762. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, සම්පත්තියෙන් සියලු සත්ත්වයන් ඉක්මවමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1763. මාගේ චිත්තාචාරයට අනුව පවතින්නා වූ කිරිමවුවරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්රීහු) මා කෝප කිරීමට නො හැක්කාහු වෙත්. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1764. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1765. මෙයින් තෙවන කල්පයෙහි මහත් බල ඇති ජනාධිපති වූ සුපාරිචාරිය නම් සූතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1766. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාතිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ජාතිපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පරිවාර සුමඞ්ගල සරණ ආසන පුප්ඵික,
චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී,
දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී,
දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
මහාපරිවාරවර්ගය දොළොස් වැනි යි.
13. සෙරෙය්ය වර්ගය
121. සෙරෙය්යක ස්ථවිරාවදානය
1767. වේද හදාරන්නා වූ මන්ත්ර දරන්නා වූ වේදත්රයෙහි පරතෙරට ගිය–
1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්යාඝ්රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.
1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.
1770. මහාවීර වූ ලෝකනායක සර්වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.
1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.