108. ආසනූපට්ඨාපක ස්ථවිරාවදානය
1657. අල්පශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිස තාදිගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
1658. මල්මිටක් ගෙණ ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ඇසුරු ද කොට උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1659. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ ආත්මය (=නිවණ) ලබමි. සියලු භවයෝ නසන ලදහ.
1660. එක්දහසි අටසියවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන්දනෙහි මේ විපාකය යි.
1661. මෙයින් සත්සියවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාපක නම් සක්විති රජෙක් වී ය.
1662. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ආසනූපට්ඨාපකස්ථවිරාවදානය අටවැනියි.
109. බිළාලිදායක ස්ථවිරාවදානය
1663. (මම) හිමවතට නුදුරු තන්හි පන්ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජුබවට නො පැමිණියෙම් (නිරතුරු) පන් ඇතිරියෙහි හෝනා වත ඇත්තෙම් වෙමි.
1664. ඒ මා විසින් කලම්බ බිළාලි තක්කල යන අල වර්‍ග සාරා ඩෙබර බදුලු බෙලි යන ගෙඩි කඩා ගෙණවුත් ආහාරයක් පිළියෙල කරණ ලදී.
1665. පූජාවන් පිළිගන්නා වූ නෙහොත් පූජාවනට භාජන වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.
1666. (එසේ සමීපයට) එළඹ සිටියා වූ මහොත්තම වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ (දැක) බිළාලි අල ගෙණ පාත්‍රයෙහි බැහීමි.
1667. එකල්හි මහාවීර වූ බුදුරජානන් වහන්සේ මා සතුටු කරමින් වැළඳූ සේක. සර්‍වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මේ ගාථාව වදාළ සේක:
1668. “තෙපි සිය සිත පහදවා මට බිළාලි (අල) දුන්නහු ද (ඒ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො පැමිණෙන්නේ ය.”
1669. මෙයින් සූපණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් වූ සක්විති රජෙක් වී ය.
1670. මේ මාගේ අන්තිම (භව) ය වේ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම දේහය දරමි.
1671. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
බිළාලිදායකස්ථවිරාවදානය නවවැනි යි.
110. රේණුපූජක ස්ථවිරාවදානය
1672-1673. රන්වන් වූ සියක්රස් ඇති හිරු වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ වැනි වූ ද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක) නාමල් ගෙණ (එහි) රේණුවලින් විපස්සී බුදුරජානන් වහන්සේ පිදීමි.
1674. මෙයින් එක් අනූවන කපෙහි (යම් නාමල්) රොන් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.