102. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1617-1618. මම ස්වර්‍ණවර්‍ණ වූ උතුම් ආජානීයයකු මෙන් ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමදගලිතමාතඞ්ගහස්තිකුලයෙහි ඇත්රජකු වැනි මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිගුන් බබුළුවන්නා වූ ලෝකජ්‍යේෂ්ඨ වූ විථීයට පිළිපන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1619. (උන්වහන්සේගේ) නුවණෙහි සිත පහදවා ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිත් ඇත්තෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1620. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධඥානය පැහැදි සිතින් මෙනෙහි කිරීමේ මේ විපාකය යි.
1621. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ වූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
1622. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනියි.
103. උප්පලහත්‍ථිය ස්ථවිරාවදානය
1623. එකල්හි මම තිවරා නගරයෙහි වෙසෙන මල්කරුවෙක් වීමි. පහ වූ කෙලෙස් රජස් ඇති ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1624. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (උන්වහන්සේට) උපුල් මල් මිටක් දිනිමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදිම් ද,
1625. මනා වූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර තමා කළ පින් කම්හි ඉෂ්ටවිපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1626. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1627. මෙම භවය හැර සිවුඅනූවන කපෙහි පටන් ම නජ්ජූපම නම් පන්සියයක් රජවරු වූහ.
1628. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උප්පලහත්‍ථියස්ථවිරාවදානය තෙවැනියි.
104. පදපූජක ස්ථවිරාවදානය
1629. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මා විසින් මල් සතක් සතුටින් විසුරුවන ලදී.
1630. එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ අද දෙවිමිනිසුන් අතුරෙහි අතිශයින් බබළමි. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1631. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1632. මෙයින් පස්වෙනි කපෙහි සිවුමහදිවයින හා සිවුසයුර කෙළවර කොට ඇති (පෘථිවියෙහි) ජනාධිපති වූ සමන්තගන්‍ධ නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
1633. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදපූජකස්ථවිරාවදානය සිවුවැනියි.
105. මූට්ඨිපූප්ඵිය ස්ථවිරාවදානය
1634. එකල්හි මම නමින් සුදස්සන නම් වූ මල්කරුවෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පහ වූ කෙළෙස් මල ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1635. (මම) දෑසමන් මල් ගෙණ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිදීමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ඇත්තේ සොම්නස් වූයේ දිවැස ද ලැබීමි.
1636. මම මේ පුෂ්පපුජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපන්මි.
1637. මෙයින් සතිස්වන කපෙහි මහත් බල ඇති පදුමුත්තර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1638. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මුට්ඨිපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.