97. මධුපිණ්ඩික ස්ථවිරාවදානය
1588-1589. අල්පශබ්ද අති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය අත්බැව් ඇති අතිශ්රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්යසමූහයා විසින් නමස්කාර කරනලද සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්රීතියක් වී ය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
1590. සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්රීපාදයුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභය කරණ) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මීවැසි ද වැස්සේ ය. පූර්වකර්මයාගේ මේ විපාකය යි.
1592. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
1593. මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවුසක්විති රජකෙනෙන් වූහ.
1594. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
මධුපිණ්ඩිකස්ථවිරාවදානය සත්වැනියි.
98. සේනාසනදායක ස්ථවිරාවදානය
1595. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට පන්ඇතිරියක් දිනිමි. හාත්පස අසේනියකුසුම් ද විසිරවීමි.
1596. මෙබඳු ගුණ ඇති සිත්කලු මහාර්හ වූ පහසක් ලබමි. මාගේ ඇඳෙහි මහඟු පුෂ්පයෝ වැගිරෙත්.
1597. මම විසිතුරු වූ මල් අතුළ සයනයෙහි නිදිමි. එකෙණෙහි සයනෙහි මල්වැසි ද වසින්නේ ය.
1598. මෙයින් සිවුඅනූවන කපෙහි පන්ඇතිරියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇතිරිදනෙහි මේ විපාකයයි.
1599. මෙයින් පස්වැනි කපෙහි ජනාධිපති වූ තිණසන්ථරක නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1600. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සේනාසනදායකස්ථවිරාවදානය අටවැනියි.
99. වෙය්යාවච්චක ස්ථවිරාවදානය
1601. විපස්සී බුදුරජානන් වහන්සේගේ (භක්තිමත්) මහාප්රාඥ සමූහයා විය. මම එකල්හි සියලු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.
1602. මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
1603. මම මෙයින් එක්අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වතාවත් කිරීමෙහි මේ ප්රතිඵලයයි.
1604. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් සක්විති රජෙක් වීමි.
1605. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්යාවච්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
වෙය්යාවච්චකස්ථවිරාවදානය නවවැනි යි
100. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනෙම් වෙමි.
1607. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකු. හැමකල්හි සැටදහසක් තූර්ය්යයෝ මා පිරිවරත්.