91. සුධාපිණ්ඩිය ස්ථවිරාවදානය
1553-1554. පිදීමට සුදුසු වූ තණ්හාදි කෙලෙස් ඉක්මවූ තරණය කළ (=නැති කළ) සෝකපරිදේව ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරෙහි හෝ පුදන්නහුට (හෙවත් කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නා වූ ඔවුනට (ලැබෙන) පින මෙපමණ ය යි කිසිවකින් පමණ කිරීමට (=මැනීමට) නො හැකි ය.
1555. යමෙක් මේ ලෙව්හි සිවුමහදිවයිනට ඉසුරු රජය කරවන්නේ නමුදු එය මෙබඳු එක පිදුමක සොළොස්වැනි කලාවකට ද නො අගී.
1556. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදි සිතින් සුණුපිඬක් දෙනලදි. (පැළුම් අතරෙහි සුණු බහා සකසන ලදී).
1557. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිසකරෙහි (=ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකය යි.
1558. මෙයින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසඞ්ඛාර නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
1559. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුධාපිණ්ඩියස්ථවිරාවදානය පළමුවැනි යි.
92. සුචින්තිත ස්ථවිරාවදානය
1560. මම හිරුගොත්හි වූ සියල්ල දත් තිස්සබුදුරදුන්හට තුටු වූයෙම් තුටුසිතින් ම (සිලිටි දැවමුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
1561. මෙයින් අටතිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝ වූ සයනාසන ද මහත් වූ භොග ද විය.
1562. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනැවින් කළ (ඒ ස්වකීය පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.
1563. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පුටුවක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පීඨාදානයාගේ මේ විපාකය යි.
1564. මෙයින් අටතිස්වන කපෙහි රුචි ය, උපරුචි ය, මහාරුචි ය යන සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1565. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතස්ථවිරාවදානය දෙවැනියි.
93. අඩ්ඪචෙළක ස්ථවිරාවදානය
1566. මම තිස්ස බුදුරජානන් වහන්සේට සිවුරු පිණිස රෙදි කැබැල්ලක් දුන්නෙමි. (එකල) දුගඳින් යුත් මම අතිශයින් කෘපණභාවයට (දුකට) පත් වූයෙම් වෙමි.
1567. මම (සිවුරු පිණිස මේ) රෙදිකැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1568. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකයයි.
1569. එකුන්පණස්වන කපෙහි ජනාධිපති වූ සමන්තච්ඡදන නම් දෙළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
1570. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අඩ්ඪචෙලකස්ථවිරාවදානය තෙවැනියි.