92. සුචින්තිත ස්ථවිරාවදානය
1560. මම හිරුගොත්හි වූ සියල්ල දත් තිස්සබුදුරදුන්හට තුටු වූයෙම් තුටුසිතින් ම (සිලිටි දැවමුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
1561. මෙයින් අටතිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝ වූ සයනාසන ද මහත් වූ භොග ද විය.
1562. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනැවින් කළ (ඒ ස්වකීය පුණ්ය) කර්මය අනුභව කරමි.
1563. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පුටුවක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පීඨාදානයාගේ මේ විපාකය යි.
1564. මෙයින් අටතිස්වන කපෙහි රුචි ය, උපරුචි ය, මහාරුචි ය යන සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1565. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතස්ථවිරාවදානය දෙවැනියි.
93. අඩ්ඪචෙළක ස්ථවිරාවදානය
1566. මම තිස්ස බුදුරජානන් වහන්සේට සිවුරු පිණිස රෙදි කැබැල්ලක් දුන්නෙමි. (එකල) දුගඳින් යුත් මම අතිශයින් කෘපණභාවයට (දුකට) පත් වූයෙම් වෙමි.
1567. මම (සිවුරු පිණිස මේ) රෙදිකැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1568. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්රයක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්රදානයාගේ මේ විපාකයයි.
1569. එකුන්පණස්වන කපෙහි ජනාධිපති වූ සමන්තච්ඡදන නම් දෙළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
1570. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අඩ්ඪචෙලකස්ථවිරාවදානය තෙවැනියි.
94. සූචිදායක ස්ථවිරාවදානය
1571. මම පෙර බන්ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට හිදි (=ඉදිකටු) දනක් දෙනලදී.
1572. එබඳු කර්මය කරන කොට ගෙණ විදුරග වැනි (සියුම්) නුවණ ඇති වේ. පහ වූ රාගය ඇත්තෙම් වෙමි. කෙලෙසුන්ගෙන් මිදුනෙම් වෙමි. ආස්රවක්ෂයට පැමිණියෙම් වෙමි.
1573. අතීතභවයෙහි ද වර්තමානභවයෙහි ද අනාගතභවයෙහි ද සියල්ල නුවණින් සොයා දැන ගතිමි. හිදිදනෙහි මේ විපාකය යි.
1574. මෙයින් ඒකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම් වූ සක්විති රජකෙනෙක් වූහ.
1575. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සූචිදායකස්ථවිරාවදානය සිවුවැනියි.
95. ගන්ධමාලිය ස්ථවිරාවදානය
1576. මම සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට (සඳුන් - අගිල් - කපුරු කස්තුරි ආදිය වඩා) සුගන්ධස්තූපයක් කෙළෙමි. බුදුරජානන් වහන්සේට සුදුසු සේ කරණ ලද එය සමන්මල්වලින් වසන ලදී.
1577-1578. රන්ඇගෑවක් වැනි වූ ලෝකයෙහි අසහාය නායක වූ සර්වඥ වූ උදුල උපුල් මලක් වැනි වූ ඇවිළුනු ගින්නක් වැනි, ශ්රේෂ්ඨ ව්යාඝ්රයෙකු මෙන් උතුම් වූ, විශිෂ්ට ජන්ම ඇති කේශර සිංහයෙකු වැනි, භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද, ශ්රමණයන්ට අග්ර වූ බුදුරජානන් වහන්සේ ද බුදුරජානන් වහන්සේගේ ශ්රීපාදයුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1579. යම් හෙයකින් සිවුඅනූවන කපෙහි යම් ගඳමල් පූජාවක් කරණලද ද, බුදුරජුන් විෂයයෙහි කරන ලද ඒ පුණ්යකර්මයාගේ විපාකය හේතු කොට ගෙන මම විශේෂයෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1580. එකුන්සතළිස්වන කපෙහි දෙවගන්ධ නම් වූ ඒ සොළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
1581. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ගන්ධමාලියස්ථවිරාවදානය පස්වැනියි.