7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය
601. (සකල සත්ත්ව) ලෝකයෙහි ජ්යේෂ්ඨ වූ (විශේෂයෙන් වෛනෙය සත්ත්වයන් සසර සයුරින් එතෙරට පමුණුවන බැවින්) විනායක වූ බුදුපදවියට පත් පදුමුත්තර සම්බුදුරජානන් වහන්සේ මම පළමු කොට දිටිමි.
602. බෝ මුලෙහි යම් පමණ යක්ෂයෝ රැස් වූවාහු ද, ඒ සියල්ලෝ බදැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.
603. “ගන මොහඳුර දුරු කරණ මේ සර්වඥ තෙමේ පැමිණියේ ය”යි (කියමින්) සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.
604. “අපි සම්බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (පිළිවෙත් රැක) කෙලෙස් දවමු” ය යි සතුටින් යුත් ඒ දෙවියන්ගේ මහානාදය පවතී.
605. දෙවියන් විසින් කියනලද ඒ අතීත වචනය අසා මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ප්රථම භික්ෂාව දුනිමි.
606. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන දිව්යසමූහයා මැද මේ ගාථාවන් වදාළ සේක.
607. “මම අභිනිෂ්ක්රමණය කොට සතියකින් සම්යක් සම්බෝධියට පැමිණියෙමි. බ්රහ්මචාරී වූ මාගේ (සිරුර) යැපෙන පමණ වූ මෙය ප්රථම ආහාරය යි.
608. යමෙක් තුසිතදෙව්ලොවින් මෙහි අවුත් මට භික්ෂාව පිළිගැන්වී ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
609. “මෙතෙමේ කල්ප තිස්දහසක් දිව්යරාජ්යය කරන්නේ ය. සියලු දෙවියන් අභිභවනය කොට දෙව්ලොව වසන්නේ ය.
610. දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. එහි දහස් වරක් චක්රවර්තතිරාජ්යය කරන්නේ ය.
611. (මෙයින්) කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
612. හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේ ය. ගිහිගෙන් නික්ම පැවිදි ව සවසක් (දුෂ්කරක්රියා කරමින්) වසන්නේ ය.
613. අභිනිෂ්ක්රමණයෙන් සත්වැනි වර්ෂයෙහි බුදුරජ තෙම සත්යය (=ධර්මය) දේශනා කරන්නේ ය. නමින් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමු කොට (ධර්මය) ප්රත්යක්ෂ කරන්නේ ය” (කියායි).
614. (මම අභිනිෂ්ක්රමණය කළ) බෝසතුන් අනු ව පැවිදි වීමි. මා විසින් වීර්ය්යය මැනවින් කරණලදී. කෙලෙස් දැවීම පිණිස සසුනෙහි පැවිදි වීම.
615. දෙවියන් සහිත ලෝකයෙහි (සියලු සත්ය අවබෝධ කළ සර්වඥ තෙමේ මිගදාය නම් වූ ඉසිපතනයට එළඹ (එහි දී) අමාබෙරය ගැසී ය. (හෙවත් දහම් දෙසී ය.)
616. ඒ මම දැන් ශාන්ත වූ නිරුත්තරපදය වූ නිවණට පැමිණියෙම් සියලු ආශ්රවයන් (පහාණපරිඤ්ඤාවෙන්) ප්රහාණය කොට ආශ්රව රහිත ව වෙසෙමි.
617-619. කෙලෙස් දවනලදී. -පෙ- බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
සත්වැනි වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය යි.