4. අනුරුද්ධ ස්ථවිරාවදානය
423. මම ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ විවේකී ව වාසය කරන්නා වූ ලෝකනායක වූ සුමේධ නම් භාග්යවතුන් වහන්සේ දිටිමි.
424. මම ලෝකනායක වූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙණ බුද්ධශ්රේෂ්ඨයන් (මෙසේ) අයැදීමි:
425. “මහා වීරයන්වහන්ස, ලෝකජ්යේෂ්ඨයන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක්මුල්හි ධ්යාන කරන්නා වූ ඔබවහන්සේට පහනක් දෙමි.”
426. සියල්ල තෙමේ ම දන්නාවූ වාදීන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ ඒ ප්රාඥ වූ බුදුරජතෙම එය ඉවසී ය. එකල්හි මම ගස් විද යන්ත්රයක් යොදා–
427. ලෝකබන්ධු වූ බුදුරජානන් වහන්සේට දහසක් වැටි දුනිමි. මාගේ පහන්හු සතියක් දැල්වී නිවී ගියහ.
428. එම චිත්තප්රසාදයෙන් ද, සිත්හි වූ ප්රාර්ත්ථනයන්ගෙන් ද, මම මිනිස්සිරුර හැර දෙව්විමනක උපනිමි.
429. දෙව්අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් වි ය. එය හාත්පසින් දිලෙයි. මේ පහන්පූජාවෙහි විපාකය යි.
430. එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබැලවීමි. සියලු දෙවියන් මැඩපැවැත්වීමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
431. ශක්ර ව තිස්කපක් මුළුල්ලෙහි දිව්යරාජ්යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නො සිතත්, (=මට අවමන් නො කරත්). මේ පහන්පූජාවෙහි විපාකය යි.
432. මම අටවිසිවරක් සක්විතිරජ වීම. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හි ම (එක සේ) දකිමි.
433. (ඥාන) චක්ෂුසින් දහසක් සක්වළ (ලෝක) දකිමි. සර්වඥ ශාසනයෙහි (පැවිදි ව) දිවැස ලැබූයෙම් ද වෙමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
434. මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජ තෙම වි ය. මා විසින් උන්වහන්සේට පැහැදුනු සිතින් පහනක් දෙනලදී.
435-437. ක්ලේශයෝ දවන ලදහ. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
සතරවැනි වූ අනුරුද්ධස්ථවිරාවදානය යි.
5. පූර්ණ ස්ථවිරාවදානය
438. වේද හදාරවන්නා වූ මන්ත්රධර වූ වේදත්රයයෙහි පරතෙරට ගිය (මම) ශිෂ්යයන් විසින් පිරිවරණ ලදුයෙම් මනුෂ්යොත්තම වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
439. පුදසත්කාර පිළිගැණීමට සුදුසු වූ තුන්ලෝ දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සංක්ෂිප්තවශයෙන් මාගේ කර්මය කීර්තනය කළ සේක.
440. මම ඒ ධර්මය අසා බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ අභිවාදනය කොට දකුණුදිගට මුහුණ ලා ගියෙමි. (=පැදකුණු කෙළෙමි).
441. සංක්ෂිප්ත ව අසා විස්තරවශයෙන් කීමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසා සියලු ශිෂ්යයෝ සතුටු වූහ.
442. ඔහු ස්වකීය දෘෂ්ටිය හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැද වූහ. මම සංක්ෂිප්ත කොට ද දෙසමි. එසේ ම විස්තරවශයෙන් ද දෙසමි.
443. විජම්නය (=අභිධර්මක්රම) දන්නා වූ මම දශකථාවස්තුවෙහි විශුද්ධීන් සියල්ලනට අවබෝධ කරවා ආශ්රව රහිත ව වෙසෙමි.
444. මෙයින් කප් පන්සියයකින් පෙර සතරමහදිවයිනෙහි අධිපති වූ සත්රුවනින් යුත් සුප්පකාසක නම් සිවුසක්විතිරජකෙනෙක් වූහ.
445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද (මා විසින්) සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ ශාසනය ද කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
පස්වැනි වූ පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරාවදානය යි.