5. පූර්ණ ස්ථවිරාවදානය
438. වේද හදාරවන්නා වූ මන්ත්රධර වූ වේදත්රයයෙහි පරතෙරට ගිය (මම) ශිෂ්යයන් විසින් පිරිවරණ ලදුයෙම් මනුෂ්යොත්තම වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
439. පුදසත්කාර පිළිගැණීමට සුදුසු වූ තුන්ලෝ දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සංක්ෂිප්තවශයෙන් මාගේ කර්මය කීර්තනය කළ සේක.
440. මම ඒ ධර්මය අසා බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ අභිවාදනය කොට දකුණුදිගට මුහුණ ලා ගියෙමි. (=පැදකුණු කෙළෙමි).
441. සංක්ෂිප්ත ව අසා විස්තරවශයෙන් කීමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසා සියලු ශිෂ්යයෝ සතුටු වූහ.
442. ඔහු ස්වකීය දෘෂ්ටිය හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැද වූහ. මම සංක්ෂිප්ත කොට ද දෙසමි. එසේ ම විස්තරවශයෙන් ද දෙසමි.
443. විජම්නය (=අභිධර්මක්රම) දන්නා වූ මම දශකථාවස්තුවෙහි විශුද්ධීන් සියල්ලනට අවබෝධ කරවා ආශ්රව රහිත ව වෙසෙමි.
444. මෙයින් කප් පන්සියයකින් පෙර සතරමහදිවයිනෙහි අධිපති වූ සත්රුවනින් යුත් සුප්පකාසක නම් සිවුසක්විතිරජකෙනෙක් වූහ.
445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද (මා විසින්) සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ ශාසනය ද කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
පස්වැනි වූ පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරාවදානය යි.
6. උපාලි ස්ථවිරාවදානය
446-447. හංසවතීනගරයෙහි රැස් කොට තැබූ අසූ කෙළක් ධනය ඇති සමෘද්ධ වූ ධන ධාන්ය ඇති වේද හදාරන්නා වූ මන්ත්රධර වූ වෛදත්රයයෙහි පරතෙරට ගියා වූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්ෂණශාස්ත්රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්රාහ්මණධර්මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක් වි ය.
448. (හිසැ එක් සිළුවක් ඇති) ඒකසිඛයෝ ද පරිව්රාජකයෝ ද ගෞතමඍෂිශ්රාවකයෝ ද (තැනින් තැන හැසිරෙණ) චරකයෝ ද තවුසෝ ද එකල්හි පොළොවෙහි හැසිරෙත්.
449. ඔහු ද ප්රසිද්ධ බ්රාහ්මණයෙකැයි කියා මා පිරිවරත්. බොහෝ දෙන මා පුදත්. මම කිසිවෙකු නො පුදමි.
450. යම් තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නො වනසේක් ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තද වූයෙම් පිදිය යුත්තකු නො දකිමි.
451. රෑදාවල් (බොහෝ හවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝකනායක බුදුරජතෙම සියලු අඳුරු දුරු කොට ලොව පහළ වි ය.
452. බුදුසසුන පැතුරුණු කල්හි මැනවැයි සම්මත වූ කල්හි අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුරජතෙම හංසවතී නගරයට එළඹියේ ය.
453. පසැස් ඇත්තා වූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස ධර්මදේශනා කළසේක. එකල්හි පිරිස ද හාත්පස යොදුනක් (තන්හි පැතුරුනේ) වි ය.
454. මිනිසුන් අතර සුනන්ද නමින් සම්මත වූ ඒ තවුස් තෙමේ එකල්හි යම් තාක් බුදුපිරිස ද, ඒ තාක් තැන මල්වලින් වැසී ය.
455. පුෂ්ප මණ්ඩපයෙහි සිටි බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්යය දේශනා කරණ කල්හි කෙළලක්ෂයක් (ප්රාණීන්ට) ධර්මාභිසමය වි ය.
456. පස්මරුන් දිනූ බුදුරජ තෙම දිවා රෑ සතක් (=සතියක්) උතුම් දහම්වැසි වස්වා අටවැනි දිනය පැමිණි කල්හි සුනන්දට මෙසේ පැවැසී ය.
457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහි ද මිනිස්ලොවෙහි ද සැරිසරන්නේ භවයන්හි සියල්ලනට උතුම් ව සැරිසරන්නේ ය.
458. කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
459. ඒ ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මයට දායාද (=කොටස් හිමියෙක්) වූ (දහම් අසා සෝවාන් ආදිමාර්ගඵල පිළිවෙළින් රහත් වූ බැවින් ‘බුදුරජුන්ගේ ඖරස පුත්ර වූ ධර්මයෙන් ම මවාලුවාක් වැනි වූ පුණ්ණමන්තානීපුත්ත නම් බුද්ධශ්රාවකයෙක් වන්නේ ය.
460. එකල්හි සම්බුදුරජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලය ද දක්වමින් සුනන්ද තවුසාට මෙසේ පැවැසී ය.