3. මහාකාශ්‍යප ස්ථවිරාවදානය
399. තාදිගුණ (=අටලෝදහම්හි නො සැලෙන ගති) ඈති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථ වූ ඒ (පදුමුත්තර) බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ ශාස්තෘන් වහන්සේට) පූජා කෙරෙත්.
400. ජනසමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඔවුන් සංවේගයට පැමිණ සිටින කල්හි මට ප්‍රීතියක් ඇති වි ය.
401. නෑ මිතුරන් කැඳවා “මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු” යි යන මේ වචනය කීමි.
402. ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී “ලෝකනාථ වූ බුදුරජානන් වහන්සේ විෂයයෙහි පින් රැස් කරන්නෙමු” ය කියා මාගේ සතුට වැඩියක් ම ඇති කළාහු ය.
403. රියන් සියයක් උස් වූ මොනවට තැනූ ඇගෑවක් කොට රියන් එක්සිය පණසක් පුළුල් වූ උස් විමානයක් කොට–
404. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදයක් කොට සිය සිත පහදවා උත්තමචෛත්‍යය පිදුවෙමි.
405. ඇවිළගත් ගිනිකඳක් මෙන් ද, පිපියා වූ සල්රුකක් මෙන් ද, අහසෙහි ඉන්‍ද්‍රයෂ්ටිය (ඉන්‍ද්‍රධ්වජය බඳනා ඉන්‍ද්‍රකීලය) මෙන් ද (ඒ ස්තූපය) සිවුදිග බබුළුවයි.
406. මම එහි සිත පහදවා බොහෝ කුසල් කොට පෙර කරණ ලද කුශලකර්‍මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
407. යෙදූ දහසක් අසුන් විසින් උසුලනලද දිව්‍යයානයට නැඟුනෙම් වෙමි. මාගේ උස් වූ භවනය සත්බුමු වූයේ උඩට නැංගේ ය.
408. දහස් ගණන් කූටාගාරයෝ තනි රනින් කරණ ලද්දෝ වූහ. (එම කූටාගාරයෝ) ස්වකීය දීප්තියෙන් සියලු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
409. පද්මරාග මාණික්‍යමය වූ අන්‍ය වූ පහකුළු ද ඇත. එකල්හි ඒ පහකුළු ද ශෝභාවෙන් හාත්පස සිවුදිග ම බබුළුවත්.
410. පුණ්‍යකර්‍මබලයෙන් හටගත් මැනවින් නිර්මිත වූ මිණිමුවා කුළුගෙවල් හාත්පස දසදිගුන් බබුළුවත්.
411. බබලන්නා වූ ඔවුන්ගේ ආලොකය අධික වි ය. සියලු දෙවියන් ඉක්මවමි. මේ පුණ්‍යකර්‍මයාගේ ඵලයයි.
412. කල්ප සැටදහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම් ක්‍ෂත්‍රියයෙක් ව සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූයෙම් සතුරු රජුන් ජය ගන්නා සුලු ව මම විසීමි.
413. එසේ ම භද්‍රකල්පයෙහි තිස් වරක් මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්‍යකර්‍මයන්හි ඇලුනෙම් ම වීම.
414. එහි ද මාහට දිගින් සූවිසි රියන් වූ පුළුලින් දොළොස්රියන් වූ ඉන්‍ද්‍රකීලයක් වැනි වූ භවනයක් පැන නැංගේ ය.
415. විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්) පන්සියයක් වූ ද, පුළුලින් ඉන් අඩක් වූ ද, තව්තිසාවැසියන්ගේ දෙව්පුරය වැනි ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් වි ය.
416. යම් සේ හිඳිකටුගුලාවෙහි බහනලද පස්විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැටෙත් ද, එකල්හි එය ගැවසීගත්තේ වේ ද,
417. එසේ ම මාගේ උතුම් වූ රම්මක නගරය ද හස්ති අශ්ව රථයන්ගෙන් පිරී ගියේ මිනිසුන්ගෙන් හැමකල්හි ගැවසීගත්තේ වී ය.
418. එහි කා බී යලි දේවත්‍වයට ගියේ මාගේ අන්තිමභවයෙහි ද කුලසම්පත් ඇති වි ය.
419. මහත් වූ රුවන් සමූහ ඇති බමුණුකුලයෙහි උපන්නෙම් අසුකෙළක් රන් හැරදමා පැවිදි වීමි.
420-422. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදි.
මේ අයුරින් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
තෙවෙනි වූ මහාකාශ්‍යපස්ථවිරාවදානය යි.
4. අනුරුද්ධ ස්ථවිරාවදානය
423. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විවේකී ව වාසය කරන්නා වූ ලෝකනායක වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දිටිමි.
424. මම ලෝකනායක වූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් (මෙසේ) අයැදීමි:
425. “මහා වීරයන්වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක්මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබවහන්සේට පහනක් දෙමි.”
426. සියල්ල තෙමේ ම දන්නාවූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඒ ප්‍රාඥ වූ බුදුරජතෙම එය ඉවසී ය. එකල්හි මම ගස් විද යන්ත්‍රයක් යොදා–
427. ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දහසක් වැටි දුනිමි. මාගේ පහන්හු සතියක් දැල්වී නිවී ගියහ.
428. එම චිත්තප්‍රසාදයෙන් ද, සිත්හි වූ ප්‍රාර්‍ත්‍ථනයන්ගෙන් ද, මම මිනිස්සිරුර හැර දෙව්විමනක උපනිමි.
429. දෙව්අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් වි ය. එය හාත්පසින් දිලෙයි. මේ පහන්පූජාවෙහි විපාකය යි.
430. එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබැලවීමි. සියලු දෙවියන් මැඩපැවැත්වීමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.