2. මහාමෞද්ගල්‍යායන ස්ථවිරාවදානය
374. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදු ව හිමවතෙහි විසූහ.
375. එකල්හි මම නමින් වරුණ නම් වූ නාගරාජයෙක් වීමි. කැමැති රූපයන් මවනසුලු වූයෙම් ඍද්ධිවිකුර්‍වණය කරමි. මම මහසයුර නිවාස කොට ඇත්තේ වීමි.
376. නිතර සිය පිරිවර වූ නාගසමූහයා හැර මම තූර්‍ය්‍යවාදනයන් පැවැත්වීමි. එකල්හි නාමෙණෙවියෝ (අනෝමදස්සී) බුදුරජානන් වහන්සේ පිරිවරා ගෙණ වාදනය කළාහු ය.
377. (මනුෂ්‍ය - නාග) තූර්‍ය්‍යයන් වාදනය කරණු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝ ද දිව්‍යතූර්‍ය්‍යයන් වාදනය කළාහු ය. මේ දෙපිරිස ගේ තුර්‍ය්‍යශබ්දය අසා බුදුරජානන් වහන්සේ ඒ බව දත් සේක.
378. බුදුරජානන් වහන්සේට ආරාධනා කොට ස්වකීය නාගභවනයට එළඹියෙමි. මම අසුන් පණවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
379. රහතුන් දහසක් විසින් පිරිවරණලද බුදුරජානන් වහන්සේ සියලු දිසාවන් බබුළුවමින් මාගේ භවනයට එළඹිසේක.
380. එකල්හි මම (එසේ) වැඩහුන් භික්‍ෂුසංඝයා සහිත වූ මහාවීර වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
381. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ මහාවීර වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ අනුමෝදනාව කළසේක. මේ ගාථාවෝ ද වදාරණ ලදහ:-
382. “යමෙක් තෙම ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ද සංඝයා ද පිදී නම්, හෙතෙම ඒ සිත පැහැදවීම් හේතුවෙන් දෙව්ලොවට යන්නේ ය.
383. තවද සත්සත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසියක් වරෙක පෘථිවීරාජ්‍යය කරමින් පොළොවෙහි වෙසෙන්නේ ය.
384. පස්පණස්වරක් සක්විතිරජ වන්නේ ය. එකල්හි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහු ය.
385. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (=ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් පසු ව) ඔක්කාක කුලයෙහි උපන්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය.
386. හෙතෙම (=චරණ නාගරාජ තෙම) නිරයෙන් චුත ව මිනිසත් බවට යන්නේ ය. නමින් කෝලිත නම් වූ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
387. හෙතෙමේ පසු ව කුශලමූලයන් විසින් මෙහෙයන ලදුයේ පැවිදි ව ගෞතම බුදුරජානන් වහන්සේගේ ද්විතීය ශ්‍රාවකයා වන්නේ ය.
388. පටන් ගන්නා ලද වීර්‍ය්‍යඇත්තේ ඍද්ධියෙහි කෙළ පැමිණියේ සියලු ආශ්‍රවධර්‍මයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව ක්ලේශ–පරිනිර්‍වාණයෙන් පිරිනිවන් පාන්නේ ය.”
389. පාපමිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව ද පියා ද නැසීමි.
390. මම නිරයෙහි හෝ නැතහොත් මිනිසුන් අතර හෝ යම් යම් යෝනියක උපදිම් නම්, (එකී) පාපකර්‍මයෙන් යුක්ත වීම නිසා බිඳීගිය හිස් ඇත්තෙම් මැරෙමි.
391. මෙය මාගේ සසරෙහි අවසානය යි. අන්තිම ආත්මභාවය වේ. මේ ආත්මයෙහි දී ද මැරෙණ කල්හි මට මෙබන්දක් වන්නේ ය.
392. ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනේ සමාධිභාවනාවෙහි ඇලුනේ සියලු ආශ්‍රවයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව වෙසෙමි.
393. ඍද්ධියෙහි කෙළ පැමිණියා වූ මම ඉතා ගැඹුරු වූ ඝන වූ නො සෙල්විය හැකි පොළොව ද වම්පය මහපටැඟිල්ලෙන් සොලවන්නෙමි.
394. අස්මිමානය (=මම ය යන හැඟීම) නො දකිමි. මට මානය නැත. මම හෙරණකු පටන් කොට සියලු භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
395. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට (=අපරිමෙය්‍ය කලාපයකට) පෙර (අගසවු බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම් ද, මම ඒ ශ්‍රාවක භූමියට පත් වීමි. ආශ්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙමි.
396. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය ද කරණ ලදි.
(396, 397, 398 යන ගාථාවෝ 371, 372, 373 යන ගාථාවන් හා සමාන වෙති.)
මේ අයුරින් ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
දෙවෙනි වූ මහාමෟද්ගල්‍යානස්ථවිරාවදානය යි.