1. ශාරීපුත්ර ස්ථවිරාවදානය
140. හිමවතට නුදුරෙහි ‘ලම්බක’ නම් පර්වතයකි. එහි මට අසපුවක් කරණ ලදී පර්ණශාලාවක් (=පන්සලක්) ද මැනවින් මවන ලදි.
141. නො ගැඹුරු ඉවුරු ඈති මනා වූ කුඩා තොටුපළවල් ඇති මනෝඥ වූ සුදෝසුදුවැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි වි ය.
142. බොරළු රහිත වූ ගැඹුරු ඉවුරු නැති මිහිරි ජලයෙන් යුත් දුර්ගන්ධ විරහිත වූ කුඩා ගඟ එහි මාගේ අසපුව හොබවමින් ගලා බසී.
143. කිඹුල්ලු ද මෝරු ද ගැටකිඹුල්ලු ද කැසුබුවෝ ද එහි වූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි හැසිරෙත්.
144. පෙටියෝ ද ලූල්ලු ද වලයෝ ද මොද්දු ද රෙහෙරු ද මගුරෝ ද (යන මත්ස්යයෝ) පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
145. එ ම ගඟ දෙපසෙහි (හැම කල්හි) මල් පිපුනා වූ ද පල ගත්තා වූ ද වෘක්ෂයෝ දෙතෙරෙහි නැමුනාහු මාගේ අසපුව හොබවත්.
146. අඹ සල් මදට පළොල් නික යන මේ වෘක්ෂයෝ පිපීගිය මල් ඇත්තාහු මාගේ අසපුවෙහි හාත්පස දිව්යමය සුවඳ පතුරුවත්.
147. පිපුනු මල් ඇති සපු සලල කොළොම් නා දොඹ වැටකේ යන මේ වෘක්ෂයෝ ද මාගේ අසපුව හාත්පස දිව්යමය සුවඳ වහනය කරත්.
148. මාගේ අසපුවෙහි යොහොඹු වැල් ද හෝපලු රුක් ද භගිනිමාලා නම් වෘක්ෂයෝ ද මල් පිපී ගියාහු ය. එසේ ම රුකඟුණු රත්කරවු යන වෘක්ෂයෝ ද සුපුෂ්පිත වූවාහු ය.
149. වැටකේ කඳල ගෝධුක බෝලිද්ද යන මොහු ද මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
150. කිණිහිරි ය සිහින් මිදි ය පියා ය කුඹුක් ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
151. දොඹ ය ගල්දොඹ ය කොබෝලීල ය යන වෘක්ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිවසුවඳ වහනය කරත්,
152. ඇසල ය කෙළිඳ ය කොළොම් ය මුහුනමල් ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
153. ආළක ය ඉසිමුග්ග (වනමුං) ය කෙසෙල් ය ලප්නාරං ය යන මේ ගස් සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
154. (අසපුව අසල වූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කේසරපද්මයෝ හටගණිත්. ඇතැම් පිපුනු පද්මයෝ ගිලිහුනු පත් හා කෙසරු ඇත්තෝ වෙත්.
155. පද්මයෝ කැකුළු ව හට ගණිත්, නෙළුඹුඅල (මඩ අතුරින් ඇත්දළ මෙන්) වැඩී යෙත්. පත්ර ගැවසුනු ‘සිඞ්ඝාටක’ නම් පැළෑටි හැමකල්හි එ ම විලෙහි බබලත්.
156. විල අසල පිරීගිය නයිත ය, ආම්රගන්ධි ය, උස් වූ බඳුවද ය යන මේ ගස්හු හැම කල්හි දිවසුවඳ හමවත්.
157. පෙටියෝ ය, ලූල්ලු ය, වලයෝ ය, මොද්දු ය, රෙහෙරු ය, අඟුලුවෝ ය, මගුරෝ ය යන මත්ස්යයෝ ද හැම කල්හි තඩාගයෙහි වසත්,
158. කිඹුලෝ ය, සුංසුමාරයෝ ය, තන්තිගාහයෝ ය, රක්ඛසයෝ ය, ඔගුහයෝ ය, අජගරයෝ ය යන මොවුහු හැම කල්හි මෙම තඩාගයෙහි වසත්,
159. පරෙවියෝ ය, රවිහංසයෝ ය, සක්වාලිහිණියෝ ය, නදීචරයෝ ය, කොකිලයෝ ය, ගිරවු ය, සැළලිහිණියෝ ය යන මේ පක්ෂීහු ඒ පිල ඇසුරෙන් ජීවත් වෙති.
160. වලිකුකුළෝ ය, රන්වන් කකුළුවෝ ය, පියුම් වෙනෙහි විල්ලිහිණියෝ ය, කිරල්ලු ය, ගිරාමලිත්තෝ ය යන මේ පක්ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
161. හංසයෝ ය, කොස්වා ලිහිණියෝ ය. මොනරු ය, කොවුලෝ ය, කුකුළෝ ය, හුණපුපුලෝ ය, ජීවඤ්ජීවයෝ ය යන මේ පක්ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
162. බකමුහුණෝ ය, පොට්ඨසීසයෝ ය, කබරුස්සෝ ය, උකුස්සෝ ය, මහාකාලයෝ ය යන බොහෝ පක්ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
163. තිත්මුවෝ ය, වල්ඌරෝ ය, වෘකයෝ ය, සිවල්ලු ය, රේරුමුවෝ ය, සුග්ගපොතයෝ ය යන බොහෝ මෘගයෝ එම පිල ඇසුරු කොට ජීවත් වෙති.
164. සිංහයෝ ය, ව්යාඝ්රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, කර බානා වලස්සු ය, තෙතැනකින් මද වැහෙන ඇත්තු ය යන මොහු ඒ විල ඇසුරු කොට වෙසෙත්.
165. කිඳුරෝ ද, වඳුරෝ ද, තවද වනයෙහි කර්මාන්තයන්හි යෙදුනෝ ද, දාසයෝ ද, වැද්දෝ ද එම විල ඇසුරු කොට වෙසෙත්.
166. තිඹිරි ය, පියල් ය, මීගස් ය, ඇද්දෙමට ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරු ව ඵල දරත්.
167. මිහිරි ඵලයන්ගෙන් යුත් කොසුම්භ ය, සලල ය, බක්මී ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරු ව ම ඵල දරත්.
168. අරළු ය, නෙල්ලි ය, අඹ ය, ජම්බු ය, බුළු ය, ඩෙබර ය, බදුලු ය, බෙලි ය යන මෙකී වෘක්ෂයෝ ඵල දරති.
169. ආලු ය, කලම්බ ය, බීළාලී (කිරිබදු) ය, තක්කල ය, ජීවක ය, සුතක ය යන බොහෝ අලවර්ගයෝ මාගේ අසපුවෙහි වෙති.