2.
පච්චේකබුද්ධාපදානය
අනතුරු ව පච්චෙකබුද්ධාපදානය අසවු:-
82. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්‍ද ස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ?” යි නැමදුම් පෙරටු ව විචාළේ ය.
83-84. එකල්හි මහර්ෂී වූ සර්‍වඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණලද පුණ්‍යසම්භාර ඇති ඒ බුදුසසුන්හි නො ලබන ලද නිවන් ඇති ඉතා සියුම් නුවණින් යුත් ඒ ප්‍රාඥයෝ එ ම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිත ව ස්වල්පමාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙණ පසේබුදුබවට පැමිණෙත් ය” යි මධුර ස්වරයෙන් වදාළසේක.
85. සකල ලෝකයෙහි (සර්‍වඥබුද්ධ වූ) මා හැර පසේ බුදුවරයන් සමාන වූ අනිකෙක් නැත්මය. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ කොටසක් පමණක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
86. පරෝපදේශරහිත ව තමන් ම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරි වූ උදානවාක්‍යයෝ දඬුවෙල් බෑ මීවදයක් මෙන් මිහිරි වෙති. අනුත්තර වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝ ම මනා කොට පහන් වූ සිත් ඇත්තෝ (එය) අසවු.
87. එහි රැස් වූ පසේබුදුබවට පත් උතුමන් පිළිවෙළින් කළ යම් යම් ප්‍රකාශයෝ වෙත් නම්, කාමයන් පිළිබඳ ආදීනව ද නො ඇලීමේ කරුණු ද උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත් වූ පරිදි ද, (පවසන ඒ ප්‍රකාශයන්) අසවු.
88. ඇලුම් කට යුතු දැයෙහි නො ඇලෙන හැඟීම් ඇත්තාහු ඇලුම් කට යුතු ලෝකයෙහි නො ඇලුනු අදහස් ඇත්තාහු රාගාදි කෙලෙස් නසා දෘෂ්ටිචලනයන් දිනා එසේ ම ප්‍රත්‍යෙක බුද්ධත්‍වයට පිළිවෙළින් පැමිණියාහු ය.
89. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර ඒ සත්‍වයන් අතුරෙන් කිසිවකුට හිංසා ද නො කරන්නේ මෙත් සිතින් යුතු ව හිතානුකම්පා ඇතිව ඒ පසේබුදුරජතෙම කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
90. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර කිසි දූ කෙනෙකුට හිංසා ද නො කරන්නේ පුත්‍රයා ගැණ පවා බලාපොරොත්තුවක් නැත්තේය. සහායයන් ගැණ කියනු ම කිම? (ඒ පසේ බුදු තෙමේ) කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
91. හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය ඇති වේ. ඒ ස්නේහය අනු ව යන්නාවූ මේ දුක ඇති වේ. ස්නේහයෙන් හටගත්තා වූ දොස් දකින්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව හැසිරෙන්නේ ය.
92. සුහද මිතුරන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇතිබව හේතු කොට ගෙණ තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙළා ගණී. සන්‍ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
93. යම්සේ එකට ගෙතුනා වූ විශාල හුණපඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම්, (එය ඒ ඒ වස්තූන් හෝ අය ගොතා ගෙණ සිටී. එහි ආදීනව දක්නේ) හුණකිළිලක් මෙන් නො ඇලෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
94. යම් සේ තිත්මුවා උයනෙහි රැහැන් ආදියකින් නො බඳනා ලද්දේ කැමැති කැමැති තැනට ගොදුරු පිණිස යේ ද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බව ද එසේ ම දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
95. මිතුරන් මැද සිටින විට සයනයෙහි ද සිටීමෙහි ද ගමනෙහි ද චාරිකාවෙහි ද (‘පින්වත, මෙහි එන්න. මාගේ බස් අසන්න. මෙය දෙන්න’ යනාදි වශයෙන්) ඇමතීම් ඇති වේ. (නින්‍දිත පුරුෂයන් විසින්) නො පතනලද (ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාත) සෛවරීභාවයෙහි අනුසස් දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
96. මිතුරන් අතර සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝ ද, පඤ්චකාමගුණිකරාගයෝ ද වෙති. එසේ ම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමය ද අධික වේ. එහි ඇතිවන ප්‍රියවිප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
97. ලද දෙයින් සතුටු වන තැනැත්තේ ගැටුම් නැති ව හැසිරිය හැකි සිවු දිග ඇත්තේ නොහොත් සිව්දිගෙහි පැතිර වූ මෙත්සිත් ඇත්තේ කිසිවකු හා නො ගැටෙන්නේ වේ. (සිංහාදීන්ගෙන් හා කාමච්ඡන්‍දාදියෙන් ද වූ) කායචිත්ත උපද්‍රවයන් ඉවසන සුලු ව ලොමුදහගැණීම් නැත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.