රූපියසංවෝහාර ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි රූපිය සංවොහාරශික්‍ෂාපදයයි. එහි “නානප්පකාරකං”, කළ නොකළ ඈ විසින් නන්වැදෑරුම් වේ. “රූපියසංවොහාරං” රන්රිදී මසු කහවණු ගණුදෙනුව. “සමාපජ්ජන්ති” පිළිගැනීම පිළිකෙව් නොකළ බැවින් පිළිගත් කහවණු ආදිය ගණුදෙනුවෙහි දොස් නොදක්නාහු කෙරෙත්.
“සසූපගං” යනාදි තන්හි හිසට පැමිණේනුයි සීසූපගනම. පොත්හි වනාහි ‘සීසූපක’යි ලියත්. මෙය, යම්කිසි ශීර්‍ෂාලඞ්කාරයකට නමෙකි. සියලු තන්හි මේ නයවේ. “කතෙන කතං” යනාදිතන්හි පිරිසිදු කහවණු ව්‍යවහාරයම කියන ලද්දේ වේ.
“රූපියෙ රූපිය සඤ්ඤී” යනාදි තන්හි පුරිම ශික්‍ෂාපදයෙහි කියූ වස්තූන් අතුරෙහි නිස්සජ්ජීය වස්තුවක් කරණකොට නිස්සග්ගිය වස්තුවක් ව්‍යාවහාර කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිම ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. ඔබමොබ පෙරළීමෙහි මේ ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තියම වේ. නිස්සග්ගිය වස්තුවකින් දුක්කට වස්තුවක් හෝ කැපවස්තුවක් හෝ ව්‍යවහාර කරන මහණහුටද මේ නයම වේ. කහවණු නොවූවෙක්හි කහවණුය යන හැඟීම් ඇතිව කහවණු ව්‍යවහාර කෙරේ, යනාවූ යම් මේ ද්විතීය ත්‍රිකයෙක් වදාරන ලද්දේද, එයට අනුලොම් බැවින් ‘කහවණුයෙහි කහවණුය යන හැඟීම් ඇතිව කහවණු නොවූවක් ව්‍යවහාර කෙරේ, යනාදීවූ මේ අන්‍යවූ ත්‍රිකය දතයුත්තේය. තමාගේ කහවණු නොවූවකින් අන්හුගේ කහවණු ව්‍යවහාර කරන්නේද තමන්ගේ හෝ කහවණුයෙන් අන්හුගේ කහවණු නොවූවෙක් ව්‍යවහාර කෙරේද, දෙයයුරෙන්ම රූපිය සංවොහාරය කරන ලද්දේම වේ. එහෙයින් පෙළෙහි එකතකින් කහවණු පක්‍ෂයෙහි එක්ම ත්‍රිකයෙක් වදාරන ලද්දේය.
දුක්කට වස්තුවකින් නිස්සග්ගිය වස්තුවක් ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහිදී පුරිම ශික්‍ෂාපදයෙන් දුක්කටය වේ. පසුව පෙරළීමෙහි මෙයින් නිස්සග්ගිය පාචිත්තිය වේ. ගරුකය ගණුදෙනු කළ බැවිනි. දුක්කට වස්තුවකින් දුක්කට වස්තුවක්ම හෝ කැප වස්තුවක් හෝ ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් දුක්කටය වේ. පසුව පෙරළීමෙහිද මෙයින් දුක්කටයම වේ. කුමක් හෙයින, යත්:- අකැප වස්තුවකින් ගණුදෙනු කළ බැවිනි. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි ක්‍රයවික්‍රයට පැමිණෙන්නේ නම් නිස්සග්ගිය පාචිත්තියයි කියන ලදී. එය දුර්‍භාෂිත වේ. කුමක් හෙයින, යත්:- දීම ගැනීමට වඩා අන්‍ය වූ ක්‍රය වික්‍රයෙක් නම් නැත්තේය. ක්‍රයවික්‍රය ශික්‍ෂාපදයද කැපවස්තුවකින් කැපවස්තු පෙරළීමම සඳහා වදාරන ලද්දේද එහෙයිනි. එද වනාහි පස්සහදැහැමියන් හැර මේ ශික්‍ෂාපදය කහවණුයෙන් කහවණු හා කහවණු නොවූවක් ගණුදෙනු කිරීමද කහවණු නොවූවකින් කහවණු ගණුදෙනු කිරීමද දුක්කට වස්තුවකින් දුක්කට වස්තුවක් ගණුදෙනු කිරීමද මේ රූපිය සංවොහාර ශික්‍ෂාපදයෙහි නොම වදාරන ලදී. ඒ ක්‍රයවික්‍රය ශික්‍ෂාපදපාලියෙහි නොවදාරන ලදි. මෙහි අනාපත්ති වන්නට සුදුසු නොවේ. එහෙයින් දුක්කට වස්තුවක් පිළිගැනීමෙහි යම්සේම දුක්කටය වේද, එසේම ඒ දුක්කටය වියයුතුයයි භාග්‍යවතුන් වහන්සේගේ අදහස දන්නන් විසින් කියන ලද්දේය.
කැප වස්තුවකින් වනාහි නිස්සග්ගිය වස්තුවක් ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් ඇවැත් නොවේ. පසුව පෙරළීමෙහි මෙයින් නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘කහවණු නොවූවෙහි කහවණු නොවූවෙක යන හැඟීම් ඇත්තේ කහවණු ගණුදෙනු කෙරේද නිස්සග්ගිය පාචිත්තිය’යි මෙය වදාරන ලද්දේය. එහෙයින්ම දුක්කට වස්තුවක් ගණුදෙනු කරන්නහුට මුල් පිළිගැණීමෙහි එසේම ඇවැත් නොවේ. පසුව පෙරළීමෙහි මෙයින් දුක්කටය වේ. කුමක් හෙයිනද යත්:- අකැපය ගණුදෙනු කළ බැවිනි. කැපවස්තුවකින් වනාහි කැපවස්තුවක් පස්සහදැහැමියන් හැර ගණුදෙනු කරන මහණහුට මුල්ගැනීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් ඇවැත් නොවේ. පසුව පෙරළිමෙහි මතුවෙහි කයවික්‍රය ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. කයවික්‍රය මුදාහැර ගන්නහුට මතු ශික්‍ෂාපදයෙන්ද ඇවැත් නොවේ. පොලිය යොදන්නහුට දුක්කටය වේ.
මේ කහවණු ව්‍යවහාරයාගේ ගරුබව දක්වන්නාවූ මේ පත්තචතුක්කය දතයුතුය. යම් මහණෙක් කහවණු පිළිගෙණ ඒ කහවණුයෙන් අයබිජුවටක් උපදවාද, ඒ අයබිජුවට කොටවා ඒ ලොහයෙන් පාත්‍රයක් කරවාද, මේ පාත්‍රය මහා අකැපය නම්වේ. කිසි උපායයකින් කැප කරනු නොහැක්කේය. ඉදින් ඒ පාත්‍රය විනාශකොට තැලියක් කරවාද, එද නොකැපය. වෑයක් කරවාද, ඒ වෑයෙන් සිඳින ලද දැහැට්ටද නොකැපය. බිළියක් කරවාද, එයින් මැරූ මත්ස්‍යයෝද නොකැපයහ. වෑතලය තවා ජලය හෝ කිරි හෝ උණුසුම් කරවාද, එද නොකැපය වේ.
යම් මහණෙක් තෙමේ කහවණු පිළිගෙණ ඒ මිලයෙන් පාත්‍රයක් මිලදී ගණීද, ඒ පාත්‍රයෙන් නොකැපම වේ. පස්සහදැහැමියන්ටම කැප නොවේය’යි මහාපච්චරියෙහි කියනලදී. ඒ පාත්‍රය කැප කරන්නට හැක්කේද, එහි ජලය මිල හිමියන්ටත් පාත්‍රය පාත්‍ර හිමියන්ටත් දුන් කල්හි කැපවේ. කැප බඩුවක්දී ගෙණ පරිභොග කිරීම වරද නොවේ.
යම් මහණෙක් තෙමේ කහවණු පිළිගන්නවා ගෙණ කැපකරු සමග කඹුරුගෙයකට ගොස් පාත්‍රයක් දැක ‘මේ පාත්‍රය මට රුස්නේය’යි කියාද, කැපකරු තෙමේද, ඒ කහවණුදී මේ පාත්‍රය කැප වහරින් ගන්නා ලද්දේද දෙවන පාත්‍රය සමානමැයි කඹුරහු හඟවාද, මිල පිළිගත් බැවින් නොකැප වේ. කුමක් හෙයින් සෙස්සන්ට කැප නොවේද, යත්: මිල නොහළ බැවිනි.
යම් මහණෙක් තෙමේ කහවණු නොපිළිගෙණ ‘තෙරුන්ට පාත්‍රයක් මිලදීගෙන දෙව’යි යැවූ කැපකරුවකු සමග කඹුරුගෙයකට ගොස් පාත්‍රයක් දැක ‘මේ කහවණු ගෙණ මේ පාත්‍රය දෙව’යි කහවණු දෙවා ගත් මේ පාත්‍රය මෙම මහණහුට නොවටියි. නොමනාකොට පරීක්‍ෂා කළ බැවිනි. අන්‍යයන්ට වනාහි මිල නොපිළිගත් බැවින් වටියි.