කෝසිය වර්ගය
කෝසිය ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි කොසිය ශික්ෂාපදයයි. එහි “සන්ථරිත්වා කතං හොති” සම බිම මතු මතුවෙහි කොසිය අංසු අතුරා කැඳ ආදියෙන් ඉස කරන ලද්දේ වේ. “එකෙනපි කොසියංසුනා මිස්සෙත්වා” යනු තමාගේ රුචිය වසයෙන් මිශ්ර කරන ලද්දෙක් තිබේවා. ඉදින් ඒ ඇතිරිය කරන තැන වාතය තෙමේ එක් කෘමිහුයක් ගෙණ හෙලාද, මෙසේද මිශ්රකොට කරන ලද්දේම වේයයි. සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
මේ ශික්ෂාපදය කායාදි ෂඩ් සමුත්ථානිකය. ක්රියාය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
කොසිය ශික්ෂාපදවර්ණනාව නිමි.
ශුද්ධකාලක ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි සුද්ධකාළක ශික්ෂාපදයයි. එහි “සුද්ධකාළකානං” යනු ශුද්ධ වූ කාලවර්ණවූ අන්හු හා මිශ්රනොවූ කාලවර්ණ ඇත්තාවූ යන අර්ත්ථයි. සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය. සමුත්ථානාදීහුද කොසිය ශික්ෂාපදය සමානම වෙත්.
සුද්ධකාළක ශික්ෂාපද වර්ණනාව නිමි.
ද්වේභාග ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි ද්වෙභාග ශික්ෂාපදයයි. එහි “අන්තෙ ආදියත්වා” යනු ඇතිරියෙහි කෙළවර නුවාව මෙන් දක්වා සුදු පැහැති රෙදිකඩක් අලවා
“ද්වෙභාගා” දෙකොටසක්. “ආදාතබ්බා” ගතයුතුය. ගොචරියානං කිඹුල්වන් එළකලොමයන්ගෙන්. “ද්වෙ තුලා ආදාතබ්බා” සතරතුලාවකින් කරවන්නට කැමැතිබව සඳහා කියනලදී. අර්ත්ථ වශයෙන් වනාහි යම් පමණ එළුලොමින් කරනු කැමැත්තේ වේද, ඒ එළුලොම් අතුරෙහි කලු එළුලොමින් දෙකොටසෙක සුදු එළුලොමින් එක් කොටසක. කිඹුල්වන් එළුලොමින් එක් කොටසෙකැයි මෙම ප්රමාණය දක්වන ලදැයි දතයුතුය.
සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය. සමුත්ථානාදීහු කොසිය ශික්ෂාපදය සමානම වෙත්. හුදෙක් මේ ඇතිරිය ගෙණද නොගෙණද කරන හෙයින් ක්රියාක්රියයි දතයුතුය.
ද්වෙභාග ශික්ෂාපදවර්ණනාව නිමි.
ඡබ්බස්ස ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි ෂඩ්වර්ෂ ශික්ෂාපදයයි. “ඌහදන්තිපි උම්මිභන්තිපි” යනු ඇතිරි මතුවෙහි වර්චස්ද මූත්රද කෙරෙත්යි කියන ලද්දේ වේ.
“දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුති” යනු මෙසේ ලද සම්මුති ඇති මහණතෙමේ යම්තාක් රොගය නොසන්සිදේද, ඒතාක් යම් යම් තැනකට යේද, ඒ ඒ තන්හි ඇතිරියක් කරන්නට ලබන්නේය. ඉදින් නීරෝගීව නැවැත මුල් ව්යාධියෙන්ම ගිලන්වේද ඒම පරිහාරය වේ. එහි අන්යවූ සම්මුති කෘත්යයෙක් නැතැ’යි ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ‘ඒ ව්යාධිය හෝ නැවත කිපේවා, අන්යවූ ව්යාධියෙක් හෝ කිපේවා, වරක් ගිලන්යි නම් ලද්දේද? ලද්දේමය. නැවැත සම්මුති කෘත්යයෙක් නැතැ’යි කීහ.
“ඔරෙන චෙ ඡන්නං වස්සානං” යනු ෂඩ් වර්ෂයක්හුගේ මෑතභාගයෙහි ඇතුළතය යන අර්ත්ථයි. පදභාජනයෙහි වනාහි සඞ්ඛ්යාමාත්රයක් දක්වනු පිණිස “ඌනකඡබ්බස්සානි”යි වදාරනලදී.
“අනාපත්ති ඡබ්බස්සාකරොති” යම්කලෙක සවස පිරුනේවේද, එකල්හි ඇතිරිය කෙරේද එහි අනාපත්තියයි දෙවන පදයෙහිද යම්කලෙක අතිරෙක ෂඩ්වර්ෂයෙක් වේද, එකල්හි කෙරේයයි මෙය අර්ත්ථ දතයුතුය. හෙතෙමේ ෂඩ්වසය තුළ නොකෙරේයයි දතයුතුය. සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
සමුත්ථානාදීහු කොසිය ශික්ෂාපදය සමානම වෙත්.
ඡබ්බස්ස ශික්ෂාපද වර්ණනාව නිමි.
නිසීදනසන්ථත ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි නිසීදනසන්ථන ශික්ෂාපදයයි එහි “ඉච්ඡාමහං භික්ඛවෙ” භාග්යවතුන් වහන්සේ වනාහි තමන් විවෙකයට පැමිණ ඒ තෙමස මුළුල්ලෙහි කිසි අවබෝධ කළ හැකි සත්ත්වයකු නොදුටුසේක. එහෙයින් මෙසේ වදාළ සේක. මෙසේ ඇති කල්හිදු පාළි විසින් ධර්මදේශනා කටයුතු වන්නීය. යම්හෙයකින් මේ භාග්යවතුන් වහන්සේහට ‘මා අවකාශ කරවා චිත්තවිවෙකයෙන් යුක්ත කල්හි භික්ෂූහු අධාර්මික කතිකාවතක් කරන්නාහ. එය උපසෙන තෙමේ බිදින්නේය. මම ඔහුට පැහැද භික්ෂූන්ගේ දැකීම අනුදන්නෙමි, එයින් මා දක්නා කැමැති බොහෝ භික්ෂූහු ධුතාඞ්ග සමාදන් වන්නාහ. මමද ඒ භික්ෂූන් තැන තැන දැමු නිසීදන සන්ථතය කරුණු කොට ශික්ෂාපදය පණවන්නෙමි. මෙබඳු සිතෙක් වූයේද, එහෙයින් ‘එවං බහූනිහි එත්ථ ආනිසංසානි’යි මෙසේ වදාළ සේක.
“සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි” උපසෙන වඞ්ගත්තපුත්ර ස්ථවිර තෙමේ වනාහි ‘න භික්ඛවෙ ඌනදසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්ය ආපත්ති දුක්කටස්ස’ යන මේ ඛන්දක ශික්ෂාපදයෙහි ‘කථං හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි’ යන මේ ආදි නයින් ගැරහුම් ලබා ‘ශාස්තෘන් වහන්සේ මාගේ පිරිස නිසා ගර්හා කළ සේක. ඒ මම දැන් ඒ කරුණෙන්ම භාග්යවතුන් වහන්සේ ලවා පුන්සඳ මෙන් සශ්රීක වූ සර්වාකාර පරිපූර්ණ වූ ශ්රී මුඛයෙන් බමගොස් විසුරුවවා පිරිසම නිසා සාධුකාර දෙවන්නෙමි’යි මනාසිත් ඇති කුලපුත්ර තෙමේ යොදුන් සියයකින් වැඩිතැන නැවතී පිරිස හික්මවාගෙන පන්සියයක් පමණ භික්ෂූන් විසින් පිරිවරන ලදුව භාග්යවතුන් වහන්සේ වෙත එළැඹෙනුයේ ‘සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි’යි එහෙයින් කියන ලදී. ව්රතසම්පත්තිය හැර අන් අයුරකින් බුදුවරයෝ සතුටු කරන්නට නොහැක්කාහ.