නිසැඟි කාණ්ඩය
චීවර වර්‍ගය
ප්‍රථමකඨිනශික්‍ෂාපද වර්ණනාව
තිංසනිස්සග්ගියා ධම්මා - යෙ වුත්තා සමිතාවිනා
තෙසන්‍දාති කරිස්සාම - අපුබ්බපදවණ්ණං
සමනය කළ පව් ඇති භාග්‍යවත් බුදුරජුන් විසින් යම් නිස්සග්ගිය පාචිත්තිය කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඔවුන්ගේ පෙර නොකියූ පදවර්‍ණනාව කරන්නෙමු.
“තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ වෙතියෙ තෙන ඛො පන සමයෙන භගවතා භික්‍ඛූනං තිචීවරං අනුඤ්ඤාතං හොති” එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ගොතමක නම් යක්‍ෂයාගේ චෛත්‍යස්ථානයෙහි කරන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි වනාහි භාග්‍යවත්හු විසින් භික්‍ෂූන්ට තුන් සිවුර අනුදන්නා ලද්දේ වේ. මෙහි “තිචීවරං” අන්තරවාසකය උත්තරාසඞ්ගය සඞ්ඝාටියයි. මේ තුන් සිවුර පරිභොග කරන්නට අනුදන්නා ලද්දේ වේ. යම් තැනෙක්හි වනාහි මේ තුන් සිවුරු පරිභොගය අනුදන්නා ලද්දේද, යම් කලෙක්හි අනුදන්නා ලද්දේද, යම් කරුණක් හේතුකොට අනුදන්නා ලද්දේද, ඒ සියල්ල චීවරක්‍ඛන්‍ධකයෙහි ජීවතවස්තුවෙහි ආයේම වේ. “අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති” යම් සිවුරකින් යුක්තව විහාරයෙහි හිඳිත්ද, නානතොටට බසිත්ද, එයින් අනිකෙකින්මය. මෙසේ දවස්පතා අලුත් සිවුරු දරත්,
“උප්පන්නං හොති” අනුප්‍රඥප්තියට දොර දෙමින් ප්‍රතිලාභ වශයෙන් උපන්නේ වේ. නිෂ්පත්ති වශයෙන් උපන්නේ නොවේ.
“ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්වහන්සේ ‘භාග්‍යවතුන් වහන්සේ හැර ගුණයෙන් විශිෂ්ටවූ මෙබඳු අන්‍ය පුද්ගලයෙක් නැතැ’යි ගුණයට බුහුමන් කිරීමෙන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මමායනය කරත්. ඒ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හැම කල්හිම මනවඩන සිවුරක් ලැබ රදන් ගන්වා කප්බිදු පිහිටුවා තෙරුන් වහන්සේටම දෙත්. උපස්ථායක කුලයන්ගෙන් දරුවන් ගෙන්වාගෙන පැවිදිකොට තෙරුන් වෙතම උපාද්ධ්‍යාය ග්‍රහණය කරවා තුමූ අනුශ්‍රාවණකර්‍මය කරත්, ආයුෂ්මත් කාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ‘පියා විසින් කටයුතු කිස නම් වැඩිමහල් පුතුට අයත්ය. මා විසින් භාග්‍යවතුන් වහන්සේට කටයුතු කිස ආනන්‍ද ස්ථවිර තෙමේ කරන්නේය. මම ආනන්‍ද තෙරුන් නිසා උත්සාහ රහිතව වසන්නට ඉඩලබමි’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මමායන කරත්. උන්වහන්සේද, ‘තමන්ට ලැබෙන මනවඩන සිවුරු ආනන්‍ද තෙරුන්ටම දෙතියි යන සියල්ල පළමු කියන ලද්ද සමානම වේ. මෙසේ ගුණයට බුහුමන් කිරීමෙන් මමායනය කරන්නේ එකල්හි උපන් ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේයයි දතයුතුය.
“නවමං වා භගවා දිවසං දසමං වා” යන මෙහි වනාහි ස්ථවිරයන්වහන්සේ කෙසේ දනිත්දැයි ඉතින් කිසිවක්හට මෙබඳු සැකයෙක් වන්නේ නම් බොහෝ කරුණෙන් දනිතියි දතයුතුය. ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ ජනපද චාරිකාවෙහි හැසිරෙන සේක් මම මෙපමණකලකින් එන්නෙමි, මේ අතරෙහි භාග්‍යවතුන් කෙරෙහි ප්‍රමාද නොවවු’යි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට දන්වාම වඩින සේක. ඉදින් ඉදිරියෙහිදී නොකියත්නම්, භික්‍ෂූන් යවාද දන්වාම යන්නාහ. අන් තැනක වස් වසන්නාහු නම් යම් මහණ කෙනෙක් පළමුකොට එත්ද, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේද පාදයන් හිස තබා වඳිවු, ආනන්‍දගේ ද නීරොගභාවය විචාරා මා අසුවල් දිනයෙහි එන්නේය’යි කියා වඳිවු’යි ඒ භික්‍ෂූන් මෙසේ පිටත් කොට යවත්, හැම කල්හිම පිරිසිඳි දිනයෙහිම පැමිණෙති. තවද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, අනුමානයෙනුදු ‘මෙතෙක් දවස් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්ව විසීම ඉවසමින් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසූ සේක, දැන් මෙතැන් පටන් අසුවල් දිනය නම් නොඉක්ම වන්නාහ, එකාන්තයෙන් එන්නාහයි. දනිත්. යම් යම් කෙනකුන්ගේ ප්‍රඥාව මහත් වන්නීද, උන් උන්ගේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද ගෞරවයද මහත්වේයයි මේ නයිනුදු දනිත්. මෙසේ බොහෝ කරුණෙන් දනිති. එහෙයින් ‘නවමං වා භගවා දිවසං දසමං වා’යි කීහ. මෙසේ කියූ කල්හි යම්හෙයකින් මේ ශික්‍ෂාපදය ප්‍රඥප්ති වද්‍යවේද, ලොකවද්‍ය නොවේද, එහෙයින් එය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් කියූ දිනයමැයි පිරිසිඳීම කරමින් “අථ ඛො භගවා -පෙ- ධාරෙතුං” යනු කීහ. ඉදින් තෙරුන් විසින් අඩ මසක් හෝ මසක් හෝ උදෙසන ලද්දේ වන්නේද, එද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ වන්නේය.
“නිට්ඨිතචීවරස්මිං” යම්කිසි නිමවීමකින් නිමවූ සිවුර ඇති කල්හි, යම්හෙයකින් ඒ සිවුර කිරීමෙන්ද නැසීම් ආදියෙන්ද හිටියේද එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස “භික්‍ඛුනො චීවරං කතං වා හොති” යනාදිය වදාරන ලදී. එහි “කතං” හිදිකම් කෙළවර කිරීමෙන් කරන ලදය. හිදිකම් කෙළවර කිරීම් නම්, හිදියෙන් පාසවැටි ගණ්ඨිකවැටි කෙළවර කොට යම්කිසිවක් කටයුතුද ඒ කොට හිද්ද හිදිකුළාවෙහිලා රැකීමය. “නට්ඨං” සොරු ආදීන් විසින් පැහැරගන්නා ලදය. මෙය කරණපළිබොධය නිමකළ බැවින් නිට්ඨිතයි කියනු ලැබේ. “විනයට්ඨං” වේ ආදීන් විසින් කනලදය. “දඩ්ඪං” ගින්නෙන් දනලදය. “චීවරාසා වා උපච්ඡින්නා” අසුවල් නම් කුලයෙහි සිවුරක් ලබන්නෙමියි යම් චීවරාශාවක් උපන්නීවේද, ඒ ආශා තොමෝ හෝ සිඳුනීය. විනෂ්ටාදීවූ මොවුන්ගේද කරණපළිබොධයම නිමවූ බැවින් නිට්ඨිතභාවයයි දතයුතුය.