එළකලෝම ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” එළකලොම ශික්ෂාපදයයි. එහි “උප්පණ්ඩෙසුං” යනු ස්වාමීනි, කොපමණකින් මිලදී ගන්නා ලද්දාහුදැ’යි යනාදිය කියමින් අපහාස කළාහුය. “ඨිතකොච ආසුම්හි”යි මිනිස්සු වනයෙන් මහත් දැවබරක් ගෙණවුත් වෙහෙසට පත්වූවාහු සිටියාහුම යම්සේ හෙලත්ද, එසේ හෙලූයේය යන අර්ත්ථයි.
“සහත්ථා” සිය අතින් තමා විසින් ගෙන යායුත්තාහයි කියන ලද්දේ වේ. “බහි නියොජනං පාතෙති” තුන් යොදුනකින් පිටත පහලයි. අනතුරක් නැතිව වැටෙන එළුලොම් අතින් මිදුනු ඇසිල්ලෙහි ලොම් ගණනින් නිස්සග්ගිය පාචිත්තීහු වෙත්, ඉදින් තුන් යොදුනකින් පිටත රුකෙක හෝ ටැඹක හෝ වැදී නැවත ඇතුළත වැටෙත්ද, ඇවැත් නොවේ. බිම වැටී සිට සිට පෙරළෙන්නාවූ එළුලොම් පොදිය නැවැත ඇතුළතට වදීද, ඇවැත්මය. ඇතුළත සිට අතින් හෝ පයින් හෝ යටියෙන් හෝ පෙරළාද සිට හෝ නොසිට හෝ පෙරළෙන පොදිය යේවා, ඇවැත්වේමය. අනිකෙක් ගෙන යන්නේයයි තබාද, ඔහු විසින් ගෙනගිය කල්හිද ඇවැත් වේමය. පිරිසිදු සිතින් තබන ලද්දක් වාතය හෝ අනිකෙක් හෝ තමාගේ ධර්මතාවෙන් පිටත හෙලාද ඇවැත් වේමය. එසේ වනුයේ තුන් යොදුන ඉක්මවීමෙහි උත්සාහසහිත බැවින් හා ශික්ෂාපදය අචිත්තක බැවිනි කුරුන්දි ආදියෙහි වනාහි මෙහි අනාපත්තියි කියන ලදි. ඒ අනාපත්ති තොමෝ පෙළහා සම නොවේ. යුගවිසින් බැඳි පොදියක් ඒකාබද්ධ කොට එක් පොදියක් සීමා තුළ එක් පොදියක් සීමාවෙන් පිටත කරමින් තබාද ඒතාක් රැකේ. එකාබද්ධ කදෙහිද මේ නයමවේ. ඉදින් නොබැඳ කදෙහි කෙළවර තැබූ මාත්රයක්ම වේද, නොරැකේ. එකාබද්ධයද පෙරළා තැබූ කල්හි ඇවැත්වේමය.
“අඤ්ඤස්ස යානෙ වා” මෙහි ගමන්ගත් යානාවක හෝ ඇතුපිට ආදියෙහි හෝ හිමියා නොදනිත්ම ගෙන යන්නේයයි තබාද ඒ එළු ලොම් තුන් යොදුන ඉක්මවූ කල්හි ඇවැත් වේ. එන කල්හිදු මෙම නයවේ. ගමන් නවතා සිටි යානාවක හෝ ඇතුපිට ආදියෙහි හෝ තබා නැගී ගමන් කරවාද, බිමින් හෝ යන්නේ මෙහෙයාද, කැඳවමින් හෝ ලුහුබඳවාද, අනිකකු ලවා ගෙණ යවාදැ’යි කී බැවින් ඇවැත් නොවේ. කුරුන්දි ආදියෙහි වනාහි ඇවැතැයි කියනලදී. ඒ කීම ‘අනිකකුලවා ගෙණ යවාද, යන මෙය හා සම නොවේ. අදින්නාදානයෙහි වනාහි සුඛ්කඝාතස්ථානයෙහිලා ඇවැත් වේ. එහි යම් ඇවැතක්වේද, මේ ශික්ෂාපදයෙහි ඕ ඇවැත් නොවේ. මෙහි යම් ඇවැතක් වේද, ඕ එහි ඇවැත් නොවේ. ඒ සුඞ්කඝාතස්ථානයට පැමිණ අන්යවිහිතවූයේ හෝ සොරු ආදීන් විසින් උවදුරු කරන ලදුයේ හෝ යේද ඇවැත්මය. හැම තන්හි ලොම් ගණනින් ආපත්තිපරිච්ඡෙදය දතයුතුය.
“වාසාධිප්පායො ගනත්වා තතො පරං හරති”යි විසයැටිවූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණයේ නම්, යම් තැනෙක ගියේවේද, එහි උදෙසීම් පිළිවිසීම් ආදිය හෝ ප්රත්යයයන් හෝ නොලැබීමෙන් එයින් මතුවෙහි අන් තැනක යේද එතැනින් අන් තැනකැයි මෙසේ යොදුන් සියයකුදු ගෙනයන්නහුට ඇවැත් නොවේ. “අච්ඡින්නං පටිලභිත්වා” සොරු පැහැරගෙණ නිරර්ත්ථකභාවය දැන නැවත දෙත්ද, ඒ ලොම් ගෙනයන්නහුට ඇවැත් නොවේ. “නිස්සට්ඨං පටලභිත්වා” විනයකර්ම කරන ලද්දක් පිළිලැබ, යන අර්ත්ථයි.