එළකලෝමධොවාපන ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි එළකලොම ධොවාපන ශික්ෂාපදයයි. එහි “රිඤ්චන්ති” හරිත්. බැහැර කෙරෙත්. විචාරන්නට නොහැකිවෙත්යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස සමුත්ථානාදිය සමග පුරාණචීවර ශික්ෂාපදයෙහි කියූ නය ඇත්තේමය.
එළකලොම ධොවාපනශික්ෂාපදවර්ණනාව නිමි.
රූපිය ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි රූපිය ශික්ෂාපදයයි. එහි “පටිවිංසො” යනු කොටසයි.
“ජාතරූපරජතං” එහි ‘ජාතරූපරජතං’ යනු ස්වර්ණයට නමෙකි. යම්හෙයකින් එය තථාගතයන් වහන්සේගේ පැහැය සමානවේද? එහෙයින් “සත්ථුවණ්ණො වුච්චති”යි පදභාජනයෙහි වදාරන ලද්දේය. ශාස්තෘවර්ණය වැනි වර්ණය ඇති යම් ලොහ විශේෂයෙක්වේද, මේ ලොහය ජාතරූප නම. රජතය වනාහි සක් මැසිරිගල් පබළු, රිදී, රත්රන් යනාදිතන්හි රීදීයයි කියන ලදී. මෙහි වනාහි ව්යවහාරයට යායුතු වූ කහවණු ආදී යම්කිසිවක් අදහස් කරන ලදී. එහෙයින්ම මෙයට පදභාජනයෙහි “කහාපණො ලොහමාසකො” යනාදිය වදාරන ලදී. එහි “කහාපණො” රන්මුවා කහවණු හෝ රිදීමුවා කහවණු හෝ පියවි කහවණු හෝය. “ලොහමාසකො” තඹලෝ ආදියෙන් කළ මස්සය. “දාරුමාසකො” හරදැවයෙන් හෝ හුණපතුරෙන් හෝ යටත් පිරිසයින් තල්පතෙක්හිදු රුවක් සිඳ කරන ලද මස්සය. “ජතුමාසකො” ලාකඩින් හෝ මැලියමින් හෝ රුවක් නගා කරනලද මස්සය. “යෙ වොහාරං ගච්ඡන්ති” මේ පදයෙන් යමෙක් යමෙක් යම් ජනපදයෙක්හි යම් යම් කාලයෙක්හි ගණුදෙනුවට යේද, ඒය. යටත්පිරිසෙයින් ඇටවලින් කරන ලද්දාවූද, සම්වලින් කරන ලද්දාවූද, සියඹලා ආදීවූ වෘක්ෂයන්ගේ එලබිජුවටින් කරන ලද්දාවූද නැගු රූප ඇත්තාවූද නොනැගු රූප ඇත්තාවූද සියල්ලද මෙහි සඞ්ග්රහ කරන ලද්දේය.
මෙසේ රජත ජාතරූප ජාතරූපමාසක යන මේ සියල්ලද කියූ භෙද ඇති රජකමාසකය යන සියල්ලද සිවුවැදෑරුම්වූ නිස්සග්ගිය වත්ථු වේ මුතු, මැණික් සක් සිලා පබළු, පියුම්රාමිණි, මැසිරිගල්, සප්තවිධධාන්ය, දැසිදස් කෙත්වත් මල්වතු ගෙඩිවතු යනාදීහු දුක්කටවත්ථූහුය. හූ හීවැල පිළී කපුද, නන්වැදෑරුම් වූ අපරණ්ය (විවිධ ධාන්ය වර්ග) ගිතෙල්, වෙඬරු, තෙල්, මී, සකුරු ආදී බෙහෙත්ද කප්පියවත්ථුය. එහි නිස්සග්ගියවස්තු තමාට ප්රයෝජනය පිණිස හේ සඞ්ඝ ගණ පුද්ගල චෛත්ය යන මොවුන්ට ප්රයෝජන පිණිස හෝ පිළිගන්නට නොවටියි. තමන්ගේ ප්රයෝජනය පිණිස පිළිගන්නහුට නිස්සග්ගියපාචිත්තිය වේ. සෙස්සන්ගේ ප්රයෝජනය පිණිස දුක්කටවස්තු පිළිගන්නහුට දුක්කටයම වේ. කප්පියවස්තු පිළිගැනීම නිමිතිකොට ඇවැත් නොවේ. තැත්පත් කොට තබනු පිණිස භාණ්ඩාගාරික ශීර්ෂයෙන් සියල්ලද පිළිගන්නහුට මත්තෙහි රතනශික්ෂාපදයෙහි ආලෙසින් පාචිත්තිය වේ.
“උග්ගණ්හෙය්ය”යි ගන්නේය. යම්හෙයකින් වනාහි ගන්නේ ඇවැතට පැමිණේද එහෙයින් මේ පදය පිළිබඳ පදභාජනයෙහි “සයං ගණ්හාති නිස්සග්ගියං පාචිත්තියං”යි වදාරන ලදී. සෙසු පදයන්හි ද මේ නයවේ.
එහි රන්රිදී බඩු අතුරෙහිද කහවණු මසු අතුරෙහිද එකක් ගන්නහුටද ගන්වන්නහුටද එක් ඇවැතක් වේ. දහසක් නමුදු එකට ගණීද, ගන්වාද වස්තු ගණනින් ඇවැත් වේ. මහාපච්චරියෙහිද කුරුන්දියෙහිද ලිහිල්කොට බඳනාලද පසුම්බියෙහිද ලිහිල්කොට පුරවනලද බඳුනෙහිද රූ ගණනින් ඇවැත් වේ. ඝනකොට බඳින ලද්දෙහිද ඝනකොට පුරවන ලද්දෙහිද, පසුම්බි බඳුන් නිමිතිකොට එක්ම ඇවැතක් වේයයි කියනලදී.
වෙත තැබූවක් ඉවසීමෙහි ‘මේ මසු කහවණු ආර්ය්යාහට වේවායි කීකල්හි සිතින් ඉවසා නම් ගණු කැමැත්තේ වේනම් කයින් හෝ වචනයෙන් හෝ මේ මසු කහවණු කැප නොවේයයි ප්රතික්ෂෙප කෙරේනම් ඇවැත් නොවේ. කය වචන දෙකින් හෝ ප්රතික්ෂෙප නොකොටද පිරිසිදු සිත් ඇතිව මේ මසු කහවණු අපට කැප නොවේයයි නොඉවසා නම් ඇවැත් නොවේමය. තුන් දොරින් වනාහි යම්කිසි දොරකින් ප්රතික්ෂෙප කරන ලද්ද ප්රතික්ෂෙප කරන ලද්දේම වේ. ඉදින් කය වචන දෙකින් ප්රතික්ෂෙප නොකොට සිතින් ඉවසාද, කය වචන දෙකින් කටයුතු ප්රතික්ෂෙපය නොකරන බැවින් අක්රියසමුත්ථාන වේ. කායද්වාරයෙහි හා වාග්ද්වාරයෙහිද ඇවැතට පැමිණේ. මනොද්වාරයෙහි නම් ඇවැතක් නැත්තේය.
එකෙක් මසු කහවණු සියයක් හෝ දහසක් හෝ ‘මෙය යුෂ්මත්හට වේවා’යි පාමුල තබාද මහණ තෙමේ මෙය කැප නොවේය’යි පහ කෙරේද, එකල්හි උපාසක තෙමේ ‘මා විසින් ඔබවහන්සේලාට පරිත්යාග කරන ලදැ’යි යේද, එවිට අනිකෙක් එහි අවුත් ‘ස්වාමීනි’ මේ කිමැ’යි විචාරාද ඔහු විසිනුත් තමා විසිනුත් යමක් කියන ලද්දේද, ඒ කියන ලද්ද කියයුතුය. ඉදින් හෙතෙමේ ‘ස්වාමීනි’ ආරක්ෂා කරන්නෙමු, රක්නා තැනක් දක්වනු මැනැවැයි කියාද, සත්මහල් පහයකට හෝ නැගී මේ රක්ෂාස්ථානයයි කියයුතුය. ‘මෙහි තබව’යි නොකිය යුතුය. මෙපමණකින් කැපයද අකැපයද නිසා සිටියේ වේ. (මනාවිචාරීමෙන් උපන් ප්රත්යය පරිභොගය කැපය නිසා සිටියේය. නොමනා විචාරීමෙන් උපන් ප්රත්යය පරිභොගය අකැපය නිසා සිටියේයයි දතයුතුය.) දොර පියා රකින්නහු විසින් විසිය යුතුය. ඉදින් විකිණිය යුතුවූ කිසි භාණ්ඩයක් පාත්රයක් හෝ සිවුරක් හෝ ගෙණ ඒද, ‘ස්වාමීනි’ මෙය ගණු මැනැවැ’යි කියූ කල්හි ‘උපාසක’ අපට මෙයින් ප්රයෝජන ඇත්තේය. මෙබඳු වස්තුවක්නම් ඇත්තේය. කැපකරුවෙක් නැත්තේය’යි කියයුතුය. ඉදින් හෙතෙමේ ‘මම කැපකරු වන්නෙමි’ දොර හැර දෙනු මැනැවැ’යි කියා නම් දොර ඇර ‘මේ අවකාශයෙහි තුබූයේය’යි කිය යුතුය. ‘මෙය ගණුව’යි නොකිය යුතුය. මෙසේද වූ කල්හි කැපයද අකැපයද නිසා සිටියේම වේ. හෙතෙමේ එය ගෙණ ඒ මහණහුට කැප බඩුවක් දේනම් වටියි. වැඩියක් ගණීනම් ‘අපි තොපගේ භාණ්ඩය නොගණුම්හ’ බැහැර යවයි කියයුත්තේය.