9. ගිලාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි - බෙලුව ගාමකෙ = වේසාලිය අසල මෙම නම ඇති එක්තරා දොරටු ගමක් ඇත. එහි යථාමිත්තං යන ආදියෙහි මිත්තා = මිත්‍රයන්ම සන්‍දිට්ඨා = ඒ ඒ තන්හි එකතු වී දැකීමෙන් පමණක් මිතුරු බව පවත්වා ගන්නා දෘෂ්ට මිත්‍රයෝ. ඉතා බලවත් නොවන මිත්‍රයෝ. සම්භත්තා = මනා ආහාර දෙන ස්නේහවන්ත වූ බලවත් මිත්‍රයෝ යම් අයට යම් තැනෙක්හි මෙබඳු භික්ෂූහු වෙත් ද එබඳු වූ යුෂ්මත්හු ඒ ඒ තන්හි වස් එළඹෙන්නාහු යන අරුතයි. එහෙයින් මෙසේ කීහ. ඒ තෙරවරුන්ගේ පහසු විහරණය පිණිස ඒ අයහට බේලුව ගමෙහි සෙනසුන ප්‍රමාණවත් නො වේ. ආහාරද හිගය. මුළු වේසාලියෙහිම බොහෝ සෙනසුන් ඇත. ආහාරද සුලභය. එබැවින් මෙසේ කීය.
එසේ නම් කුමක් හෙයින් සුවසේ යවයි කියා නොයැවීද යත් - ඔවුන් හට අනුකම්පා වෙති. උන් වහන්සේට මෙසේ සිත් විය. “දසමසක කාලයක් සිට පිරිනිවන් පාන්නෙමි. ඉදින් මේ පිරිස දුරට යන්නාහු නම් පිරිනිවෙන කල්හි මා දැකීමට නොහැකි වෙති,” යනුවෙනි. ඉක්බිති ඒ පිරිසට මෙසේ සිතීමට ඉඩ ඇති විය හැක. කෙසේද යත් - ශාස්තෲන් වහන්සේ පිරිනිවෙන සේක්. යයි අපහට සිතුවිලි මාත්‍ර සලකුණක් හෝ නො දුන්හ. ඉදින් දන්නෙමු නම් මෙසේ දුරෙක නොවසන්නෙමුයි විපිළිසර වන්නෝය. වේසාලිය අවට වෙෙසන්නාහු වනාහී මාසයකට අටවරක් පැමිණ දහම් අසන්නාහ. බුදුන් වහන්සේගේ අවවාද ලබා ගන්නාහයි පිටත් නො කළහ.
ඛරො = කර්කශ ආබාධො = අසමාන වූ රෝගයක් බාළ්හා = බලවත් මාරණාන්තිකා = මරණය කෙළවර කොට ඇති මරණයේ සමීපයට පැමිණවීමෙහි සමත් සතො සම්පජඤ්ඤය අධිවාසෙති = සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ ඉවසුවේය. අවිහඤ්ඤමානො = වේදනාවට අනුව පැවතීම වශයෙන් මතු මත්තෙහි පවතින පෙරලියක් නොකරමින් පීඩනයට පත් නො වෙමින් ද, දුකට පත් නොවෙමින් ද ඉවසුවේය. අනාමනෙතත්‍වා = නො දන්වා අනපලොකෙත්‍වා = අණ නොකොට, අවවාද අනුශාසනා නොදී යයි කියන ලද්දේ වෙයි. විරියෙන = (සෝවාන් ආදී) මාර්ගයකට පැමිණිමට පෙර කරන වීර්යයෙන් ද, ඵල සමාපත්ති සදහා කරන වීර්යයෙන් ද = පටිපණමෙත්‍වා = මැඩ පවත්වා ජීවිත සංඛාරං = මෙහිදී ජීවිතයට ජීවිත සංඛාරයයි. යමකින් ජීවිතය සංස්කරණය කරනු ලැබේ ද, සිඳෙන බිඳෙන දෙය ගලපා තබනු ලැබේ ද එය ඵල සමාපත්ති ධර්මය ද ජීවිත සංස්කාරය ද වේ. එය මෙහිදී අදහස් කෙරේ. අධිට්ඨාය = අධිෂ්ඨාන කොට, පවත්නා කල්හි ජීවිතය පවත්වා ගැනීමෙහි සමත් වූ ඵලසමාපත්තියට සමවැදුනේය යන මෙය මෙහි කෙටි අදහසයි.
කිම? භාග්‍යවතුන් වහන්සේ මින් පෙර ඵල සමාපත්තියට සම වැදුණාහු නොවෙත් ද? සමවැදුණහ. ඒ වනාහී ක්ෂණික සමාපත්තියකි. ක්ෂණික සමාපත්තිය ද සමාපත්තිය තුළදීම වේදනාව යටපත් කරයි. සමාපත්තියෙන් නැඟී සිටි විටම පොල්ලකින් ගැසීමෙන් හෝ කැට කැබිලිත්තකින් ගැසීමෙන් හෝ කැඩී විසුරුණු දිය සෙවෙල් ඇති ජලය මෙන් නැවත සිරුර පුරා වේදනාව පැතිරේ. රූප සප්තකය ද, අරූප සප්තකය ද නිරවුල් කොට පැහැදිලි කොට මහා විදර්ශනා වශයෙන් සමවැදුණ යම්බඳුවූ සමාපත්තියක් වේද, එය රූප සප්තකය ද, අරූප සප්තකයද නිරවූල් කොට, පැහැදිලි කොට මනාව යටපත් කරයි. කෙසේද යත් - යම්සේ පුරුෂයකු පොකුණකට බැස අත්වලින් ද පාවලින් ද මනාව ඉවත් කරන ලද දිය සෙවෙල් ඇත්තේ කලකදී දියට බසී ද, මේ අයුරින්ම එයින් නැගී සිටි තැනැත්තාට කලකදී වේදනාව උපදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එදින මහබෝමැඩෙහි ලබාගත් විදර්ශනාව පිහිටුවමින් මෙන් රූප සප්තකය ද අරූප සප්තකය ද නිරවුල් හා පැහැදිලි කොට තුදුස් අයුරකින් පවත්වා මහා විදර්ශනාවෙන් වේදනාව යටපත් කොට එය දසමසක් තුළ නො උපදීවායි (ඉටා) සමාපත්තියට සමවැදුණහ. සමවතින් යටපත් කළ වේදනාව දසමස තුළ ඇති නොවූයේය.
ගිලානා වුට්ඨිතො = ගිලන් වී නැවත (ඉන්) නැගී සිටියහ. මධුරක ජාතො විය = හටගත් බර බවක් ඇත්තේ, හටගත් තද බවක් ඇත්තේ, උලක තබන ලද්දාක් වැනි න පක්‍ඛායන්ති = නොයෙක් කරුණු නිසා ප්‍රකාශ නොකරත්. නොවැටහෙත් ධම්මාපි මං නප්පටිභන්ති = සතිපට්ඨාන ධර්මයන් මා හට ප්‍රකට නොවේයැයි දැක්වේ. තෙරුන් හට බුද්ධ ධර්මය මනාව ප්‍රගුණ වී ඇත. නඋදාහරති - අවසන් අවවාදය නො දෙන්නේ ය යන්න සඳහා කියයි.