1. අම්බපාලි වර්ගය
1. අම්බපාලි සූත්‍ර වර්ණනාව
සතිපට්ඨාන සංයුත්තයේ පළමු වැන්නෙහි - අම්බපාලිවනෙ = රූපය නිසා ජීවත් වන (වෛශ්‍යා ස්ත්‍රියක වන) අම්බපාලි නම් වූ තැනැත්තිය විසින් රෝපණය කරන ලද අඹවනයෙහි එය ඇයගේ උයන විය. ඕ තොමෝ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්‍රසන්න සිත් ඇතිව එහි විහාරයක් කරවා තථාගතයන් වහන්සේට පවරා දුන්නාය. ඒ සඳහා මෙය කියන ලදී. එකායනායං = එකායනො + අ = එකායනො එහි “එකායනො” යනු එකම මාර්ගයයි. එහි “මග්ග” යන්නට
මග්ගො පන්‍ථො පථො පජ්ජො අඤ්ජසං වටුමායනං,
නාවා උත්තර සෙතූච කුල්ලොච භිසි සඞ්ක මො
යන ගාථාවෙහි දැක්වෙන පද ව්‍යවහාර වේ. (එම ගාථාවෙහි දැක්වෙනුයේ “මග්ග” යන්නට යෙදෙන පර්යාය පදයන් ය) “මාර්ගය” යන එය මෙහිදී අයන යන නමින් කියන ලද්දේය. එහෙයින් එකායනො අයං භික්‍ඛවෙ මග්ගො = මහණෙනි, මෙය එකම මාර්ගයයි. “මග්ගො” යනුවෙන් දෙකට බෙදුණු මඟක් නොවේය යන අරුත දැක්විය යුතුය. කවර අරුතකින් “මග්ග” නම් වේද? නිවන සොයා යාම යන අරුතින්. නිවන සෙවිය යුතුය යන අරුතින් නිවන අරමුණු කර ගත් අය විසින් (මග්ග යන පදය යොදනු ලැබේ)
සත්තානං විසුද්ධියා = රාගාදී කෙලෙස්වලින් ද, අභිජ්ඣා විසම ලෝභ (දැඩි සහ නපුරු ලෝභකම්) ආදී කෙලෙස්වලින් ද කිලිටි වූ සත්ත්වයන්ගේ පිරිසිදු වීම සඳහා. සොක පරිද්දවානං සමතික්කමාය = ශෝක කිරීමේ ද, වැළපීමේ ද ඉක්මවා යාම, දුරු කිරීම පිණිසය යන අරුතයි. දුක්ඛ දොමනස්සානං අත්‍ථඞ්ගමාය = කායික දුඃඛයේ ද, චෛතසික දෝමනස්සයේ ද යන මේ දෙකේ නැති වීම පිණිස, නිරුද්ධ වීම පිණිස යන අරුතයි. ඤායස්ස අධිගමාය = “ඤායො” යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනු ලැබේ. එම මාර්ගයාගේ අවබෝධය පිණිස පැමිණීම සඳහා යයි කියන ලද්දේ වෙයි. භාවිත කරනු ලබන සතිපට්ඨාන මාර්ගය වූ මෙම ලෞකික වූ පූර්ව භාගය ලොකෝත්තර මාර්ගයාගේ අවබෝධය පිණිස පවතී. එහෙයින් “ඤායස්ස අධි ගමාය” (ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ අවබෝධය සඳහා) යයි කියන ලදී. නිබ්බාණස්ස සච්ඡි කිරියාය = තෘෂ්ණාව නම් වූ වාණය (ලෝභකම) නැති බැවින් “නිබ්බාණ” (නිවන) යයි ලබන ලද නම් ඇති අමෘතය අවබෝධ කර ගැනීම සඳහා හෙවත් තමාටම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා යයි කියන ලද්දේ වෙයි. මෙම මාර්ගය අවබෝධ කිරීම සිදු කරයි. එහෙයින් “නිබ්බාණස්ස සච්ඡි කිරියාය” (නිවන අවබෝධ කර ගැනීම සඳහා) යයි කියන ලදි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පද සතකින් ඒකායන මාර්ගයේ වර්ණනාව කියන ලදී. එය කෙසේ භික්ෂූන්ගේ උත්සාහය ඇති කිරීම පිණිස පවතී ද යනු වර්ණනාව අසා ඒ භික්ෂූන් මෙසේ පිළිපදිනු ඇතැයි අදහස් කළහ. (භික්ෂූන් මෙසේ සිතනු ඇත යනුයි) මේ මාර්ගය හෘදයේ සන්තාපයට හේතු වූ ශෝකය ද. ප්‍රලාප සහිත වචන කීමට හේතු වූ වැලපීම ද, කායික අසහනයට හේතු වූ දුක ද, චෛතසික අසහනයට හේතු වූ දෝමනස්සය ද යන උපද්‍රවයන් සතර දුරු කළ යුතුය. විශුද්ධියය, සත්‍ය මාර්ගයය, නිර්වාණයය යන උත්තම තත්ත්වයන් තුන ලබා දෙන්නේය. උත්සාහවත් වී මේ දේශනාව උගත යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. ධාරණය කළ යුතුය යන මේ මාර්ගය වැඩිය යුතුය - මෙසේ අදහස් කර ගනු ඇතැයි සිතා ඒ භික්ෂූන්ගේ උත්සාහය ඇති කරවීම පිණිස කම්බිලි වෙළඳුන් තම කම්බිලි වර්ණනා කරන අයුරින් වර්ණනා කළහ.
යදිදං යනු නිපාතයකි. යම් බඳු වූ මේ අය යන මෙය මෙහි අර්ථයයි. චත්තාරො = සංඛ්‍යා සීමාවකි. මෙයට අඩු නොවේ, මෙයට වැඩි ද නොවේ යනුවෙන් සතර සතිපට්ඨාන සීමාව (චත්තාරො) වචනයෙන් දැක්වේ. සතිපට්ඨානා = සිහියට අරමුණු වූ සතිපට්ඨානයන් තුන තුන් අයුරෙන් පිළිපන් ශ්‍රාවකයන් තුළ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව වන ක්‍රෝධයට අනුකූල වීම ඉක්මවා සිටිය යුතුය යන්න ද සති (හෙවත් සිහිය) නම් වේ. මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇති වීම ද, නැති වීම ද. දේශනා කරමි. -පෙ- මහණෙනි, කයෙහි හට ගැන්ම නම් කුමක් ද? ආහාරය හේතුවෙන් කය හටගනියි යන ආදියෙහි සිහිය හැසිරවීම සතිපට්ඨානය වේ යයි කියන ලදී. එසේ කය පිහිටුවීම සතිය (සිහිය) නොවේ, සිහිය පිහිටුවීම ම සතිය වේ යන ආදියෙහිදී ද එසේ අදහස් වේ. එහි අර්ථය නම් : එහි පිහිටයි. යන අරුතින් “පට්ඨාන” නම් වේ. කුමක් පිහිටයිද “සතිය” (පිහිට) යි. සිහියෙන් පිහිටුවීම සතිපට්ඨාන යයි. (සතියා පට්ඨානං සතිපට්ඨානං) ඇතුන් සිටින තැන = හත්‍ථිට්ඨාන, අශ්වයන් සිටින තැන - අස්සට්ඨාන ආදිය මෙනි.