10. භික්ඛුනුපස්සය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි - තෙනුපසඞ්කමී = එම ආශ්‍රමයෙහි කමටහන්හි යෙදෙන භික්ෂූණීහු සිටිති. ඒ භික්ෂූණීන් උනන්දු කරවා කමටහන් කියන්නෙමි යි කියා එහි පැමිණියහ. උළාරං පුබ්බෙනාපරං විසෙසං = පූර්වයෙහි වූ විශේෂත්වයේ (හෙවත් ඥානයේ) සිට පසුව එනා උසස් විශේෂත්වය (ඥානය) වෙත. එහිදී මහා භූතයන් ග්‍රහණය කර (හෙවත් තමාගේ පාලනයට) ගැනීම පූර්ව විශේෂයයි. උපාදා රූපයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂය නම් වේ. එසේම සියලු රූපයන් ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. රූප රහිත දෙය (අරූප) ග්‍රහණය කර ගැනීම අපර විශේෂයයි. රූප හා අරූප ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. ප්‍රත්‍යයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂයයි. තිලකුණු වෙත යොමු වීම අතර විශේෂය නම් වේ. මෙසේ පූර්ව විශේෂයෙන් අපර විශේෂය වෙන් කොට දැන ගනියි යන අර්ථය වේ.
කායාරම්මණො = යම් බඳු වූ කයක් පිළිබඳව විමසා බලයි ද එය ම අරමුණු කොට කෙලෙස්වලින් දැවීම සිදු වේ. බහිද්ධාවා චිත්තං වික්‍ඛිපති = බාහිරව වෙනත් අරමුණෙක්හිදී සිතුවිලි වික්ෂිප්ත බවට පත් වේ. කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං = මෙසේ කෙලෙස්වලින් දාහයට පත්වීමක් ද, මැලි බවක් ද, බාහිර හේතූන් නිසා වික්ෂිප්ත භාවයක් ද උපන්කල්හි කෙලෙස්වල ඇලීමෙන් නොහැසිරිය යුතුයි. පැහැදීම ඇති කරන, පැහැදීම ගෙන එන බුද්ධාදී කිසියම් එක්තරා අරමුණක කමටහන් සිත තබා ගත යුතුය. චිත්තං සමාධියති = අරමුණ මනාව ගනියි, එය මනාව තබා ගනියි. පටිසංහරාමි = පැහැදීම ඇති කරවන ස්ථානයෙන් (අරමුණින්) වෙනස් වෙමි. එම මුල් කමටහනට අභිමුඛවම එය කරමි (වඩමි) යන අරුතයි. සො පටි සංහරති චෙච = මුල් කමටහනට අභිමුඛව ද යවයි. නච විතක්කෙති, නච විචාරෙති = කෙළෙස් සිතුවිලිවලින් හා ඒ පිළිබඳ සලකා බැලීමෙන් (කිලේස විතක්ක විචාරයෙන්) තොර වෙමි. (අවිතක්කසවිචාරො) අජ්ඣත්තං සතිමා සුඛමස්මි = අරමුණු පිළිබඳ අධ්‍යාත්මයෙහි පැවති සිහියෙන් සිහි ඇත්තේ ද, සුවපත් වූයේ ද වෙමියි දැන ගනියි.
එවං ඛො ආනන්‍ද, පණිධාය භාවනා හොති ආනන්‍ද, මෙසේ භාවනාව නවතා තැබීමෙන් එහි අරමුණ පසුව) සිදුවේ. යම් සේ වනාහී මහත් උක්ගස් බරක් ඔසවා ගෙන (උක්ගස් මඩින) යන්ත්‍ර ශාලාවට ගෙන යන්නාවූ පුරුෂයකුට තමා වෙහෙසට පත්වන පත්වන කල්හි (උක්බර) බිම තබා උක් දණ්ඩක් සපා නැවත (උක්බර) ඔසවා ගෙන ගම යන්නට සිදු වෙයි ද, එසේම රහත් බවට පැමිණීම පිණිස කමටහන් ඉගෙනගත් මේ භික්ෂුවට ද කායික ප්‍රදාහයන් උපන් කල්හි ඒ කමටහන තබා, බුදු ගුණ ආදිය සිහි කිරීමෙන් සිත පහදවා, කළ යුතු දෙය කොට භාවනාව කරගෙන යාමට සිදු වේ. එහෙයින් පණිධාය භාවනා (හෙවත් භාවනාව තබා) යයි කියන ලදී. ඒ පුරුෂයා එම උක්ගස්බර යන්ත්‍ර ශාලාවට ගෙන ගොස් මිරිකා ලබන රස පානය අනුභව කිරීම මෙන් කමටහන මුදුන් පත් කොට ගෙන රහත් බවට පත්වූ මේ භික්ෂුව පල සමවත් සුව අනුභව කිරීම දත යුතුය.
බහිද්ධා = මුල් කමටහන අත්හැර ඉන් බැහැර අන් අරමුණෙක්හි අප්පණිධාය = (බැහැරක) නොතබා අථපච්ඡා පුරෙ අසංඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති = මෙහිදී කමටහන් වශයෙන් හෝ, ශරීර වශයෙන් හෝ, දේශනා වශයෙන් හෝ අර්ථය දත යුතු වේ.
එහි කමටහන ගැන සැලකීමේදී වනාහී කමටහන් පිහිටීම “පුරෙ” නම් වේ. රහත් බව “පච්ඡා” නම් වේ. එහි යම් භික්ෂුවක් මුල් කමටහන ගෙන ක්ලේශ දාහයකට හෝ මැලි බවට හෝ බාහිර වික්ෂිප්ත භාවයකට හෝ මතුවීම සඳහා අවස්ථාවක් නොදෙමින්, මනාව භික්මුණ ගොනුන් යොදා ගැල මෙහෙයවන්නාක් මෙන් ද, සතරැස් සිදුරෙක මනාව සැකසූ සතරැස් ඝටිකාවක් බහාලන්නාක් මෙන් ද විදර්ශනා පිහිටුවා සිටගෙන නොසිටිමින්, වැතිර නොගෙන රහත් බවට පැමිණෙයි. හේ තෙමේ පෙර කියන ලද කමටහන්හි යෙදී සිටීමේ ද පසුව කියන ලද රහත් භාවයේද යන වශයෙන් පසුව හා පෙර, සකස් නොකළ ස්වභාවය ඇති (හෙවත් අසංඛත වූ) නිදහස් වූ (විමුත්ත වූ) ආශාවන් හි නොපිහිටි තත්ත්වයට පැමිණි බව (නිවනට) පැමිණි බව දන්නේ වෙයි.
සිරුරෙහි පා ඇඟිලිවල අග පුරුක් “පෙර” (හෙවත් පුරෙ) නම් වේ. හිස් කබලේ ඇටය පසු (හෙවත් පච්ඡා) නම් වේ. එහිදී යම් භික්ෂුවක් පා ඇඟිලිවල අග පුරුක්හි ඇට කෙරෙහි මනාව සලකා බලා, බෙදා දෙන අයකු විසින් යවකරල් මිටි වෙන් කරන්නාක් මෙන් වර්ණ, සලකුණු, පිහිටි දිසාව, තිබෙන ඉඩ ප්‍රමාණය (යන ආදිය) වෙන් කිරීම් වශයෙන් සිරුරේ ඇට පරීක්ෂා කරමින් ක්ලේශ ප්‍රදාහ ආදීන්ගේ අතරතුර උත්පත්තිය වළක්වා හිස් කබල් ඇටය දක්වා භාවනාව පමුණුවයි ද, හේ තෙමේ “පුරෙ” යයි නම් කෙරුණ පා ඇඟිලි පුරුක්වල ද, “පච්ඡා” යයි නම් කෙරුණ හිස් කබල් ඇටයේ ද යන වශයෙන් පසුව හා පෙර සකස් නොකළ ස්වභාවය ඇති (අසංඛත) නිදහස් වූ (විමුත්ත) ආශාවන්හි නො පිහිටි තත්ත්වයට පැමිණි බව (නිවනට පැමිණි බව) දන්නේ වෙයි.
දේශනාවෙහි ද දෙතිස් ආකාර දක්වන දේශනාවෙහි කෙස් “පුරෙ” නම් වේ. මොලය “පච්ඡා” නම් වේ. එහිදී යම් භික්ෂුවක් කෙස් පිළිබඳව මනාව සලකා බලා වර්ණ, සලකුණු, පිහිටි දිසාව, තිබෙන ඉඩ ප්‍රමාණය (යන ආදිය) වශයෙන් කෙස් වැනි දේ පරීක්ෂා කරමින් ක්ලේශ ප්‍රදාහ ආදීන්ගේ අතරතුර උත්පත්තිය වළක්වා මොළය දක්වා භාවනාව පමුණුවයි ද. හේ තෙමේ “පුරෙ” යයි නම් කෙරුණ කෙස්වල ද, “පච්ඡා” යයි නම් කෙරුණ මොළයේ ද යන වශයෙන් පසුව හා පෙර සකස් නොකළ ස්වභාවය ඇති, නිදහස් වූ, ආශාවන්හි නො පිහිටි තත්ත්වයට තමා පැමිණි බව (නිවනට පැමිණි බව) දන්නේ වෙයි.
එවං ඛො ආනන්‍ද අප්පණිධාය භාවනා හොති - ආනන්‍ද, මෙසේ නොහැර ම භාවනාව සිදුවෙයි. මේ භික්ෂුව අරභයා මෙසේ කිව යුතු වේ. යම් සේ උක් සකුරු බරක් ලැබී තමාගේ ගමට ගෙන යන්නාවූ ද අතර මගදී (බිම) නොතබාම (හෙවත් අත් නොහැරම) උකුළ මත තබා ගත් එම උක්සකුරු කැබලි ආදී කෑ යුතු දේ කරන්නාවූ ද පුරුෂයා තමාගේ ගමටම පැමිණේ ද, එසේම රහත් බවට පැමිණීම සඳහා ආරම්භ කළ භාවනාව ඇති භික්ෂුවගේ කාය පරිදාහ ආදියේ මතුවීම වළකා කමටහන් භාවනාව පවතී. එහෙයින් “ඉවත් නොකළ භාවනාව (හෙවත් අප්පණිධාය භාවනා) යයි කියන ලදී. උක් සකුරු බර තමාගේ ගමට ගෙන ගොස් ඒ පුරුෂයා නෑයන් සමග එය පරිභෝග කිරීම මෙන් කමටහන මුදුන්පත් කොට රහත් බවට පැමිණි මේ භික්ෂුවගේ පල සමවත් සුවය විඳීම ද දත යුතුය. මේ සූත්‍රයෙහිදී (මාර්ග ඥානයට පෙර පහළ වන) පූර්වභාග විදර්ශනාව කියන ලදී. සෙස්ස සියලු තන්හි පහසු වන්නේමය.