දැන් (මීළඟට) ඒ බව ප්‍රකාශ කරමින් යස්මිං ආනන්‍ද සමයෙ යන ආදිය කීහ. එහි සබ්බනිමිත්තානං = රූප නිමිති ආදීන්ගේ එකච්චානං වෙදනානං = ලෞකික වින්දනයන්ගේ තස්මා තිහානන්‍දා = යම් හෙයකින් මෙම ඵල සමාපත්ති විහරණයෙන් පහසුවක් වේ නම්. ඒ හේතුවෙන් ඔබ ද ඒ සඳහා මෙසේ වාසය කරන්න යයි දැක්වේ. අත්තදීපා = මහ සමුදුරට ගියවුන්හට දිවයිනක් මෙන් ද තමා හට ප්‍රදීපයක් මෙන් ද පිහිට කොට වාසය කරන්න. අත්තසරණා = තමාම පිහිට කොට ගන්න අනුන් පිහිට කොට නොගන්න “ධමම දීප, ධමම සරණ” යන පදයන්හි ද මේ පිළිවෙළ ම වේ. මෙහි ද “ධම්මො” යනු නවලොවුතුරු දහම යයි දත යුතුය. තමතග්ගෙමෙතෙ = (තම තග්ගෙයනු) තම අග්ගෙ (යන පද දෙකයි) මැද “ත” කාරය පද දෙකේ සන්ධිය වශයෙන් කියවේ. මොව්හු ශ්‍රේෂ්ඨතමයෝය යනුවෙන් මෙය කියන ලද්දේ වෙයි. ආනන්දයෙනි, මෙසේ සියලු අන්ධකාර ප්‍රවාහයන් සිඳ ඉතා උතුම් ශ්‍රේෂ්ඨ තැනෙක මාගේ භික්ෂූහු සිටින්නාහ. යෙ කෙචි සික්ඛා කාමා = සතර සතිපට්ඨානයෙහි යෙදෙන ඒ සියළුම භික්ෂූහු උතුම් තත්ත්වයෙක වෙසෙත් යයි අර්හත්වය මුදුන්පත් කිරීමෙන් දේශනාව කළහ.
10. භික්ඛුනුපස්සය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි - තෙනුපසඞ්කමී = එම ආශ්‍රමයෙහි කමටහන්හි යෙදෙන භික්ෂූණීහු සිටිති. ඒ භික්ෂූණීන් උනන්දු කරවා කමටහන් කියන්නෙමි යි කියා එහි පැමිණියහ. උළාරං පුබ්බෙනාපරං විසෙසං = පූර්වයෙහි වූ විශේෂත්වයේ (හෙවත් ඥානයේ) සිට පසුව එනා උසස් විශේෂත්වය (ඥානය) වෙත. එහිදී මහා භූතයන් ග්‍රහණය කර (හෙවත් තමාගේ පාලනයට) ගැනීම පූර්ව විශේෂයයි. උපාදා රූපයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂය නම් වේ. එසේම සියලු රූපයන් ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. රූප රහිත දෙය (අරූප) ග්‍රහණය කර ගැනීම අපර විශේෂයයි. රූප හා අරූප ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. ප්‍රත්‍යයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂයයි. තිලකුණු වෙත යොමු වීම අතර විශේෂය නම් වේ. මෙසේ පූර්ව විශේෂයෙන් අපර විශේෂය වෙන් කොට දැන ගනියි යන අර්ථය වේ.
කායාරම්මණො = යම් බඳු වූ කයක් පිළිබඳව විමසා බලයි ද එය ම අරමුණු කොට කෙලෙස්වලින් දැවීම සිදු වේ. බහිද්ධාවා චිත්තං වික්‍ඛිපති = බාහිරව වෙනත් අරමුණෙක්හිදී සිතුවිලි වික්ෂිප්ත බවට පත් වේ. කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං = මෙසේ කෙලෙස්වලින් දාහයට පත්වීමක් ද, මැලි බවක් ද, බාහිර හේතූන් නිසා වික්ෂිප්ත භාවයක් ද උපන්කල්හි කෙලෙස්වල ඇලීමෙන් නොහැසිරිය යුතුයි. පැහැදීම ඇති කරන, පැහැදීම ගෙන එන බුද්ධාදී කිසියම් එක්තරා අරමුණක කමටහන් සිත තබා ගත යුතුය. චිත්තං සමාධියති = අරමුණ මනාව ගනියි, එය මනාව තබා ගනියි. පටිසංහරාමි = පැහැදීම ඇති කරවන ස්ථානයෙන් (අරමුණින්) වෙනස් වෙමි. එම මුල් කමටහනට අභිමුඛවම එය කරමි (වඩමි) යන අරුතයි. සො පටි සංහරති චෙච = මුල් කමටහනට අභිමුඛව ද යවයි. නච විතක්කෙති, නච විචාරෙති = කෙළෙස් සිතුවිලිවලින් හා ඒ පිළිබඳ සලකා බැලීමෙන් (කිලේස විතක්ක විචාරයෙන්) තොර වෙමි. (අවිතක්කසවිචාරො) අජ්ඣත්තං සතිමා සුඛමස්මි = අරමුණු පිළිබඳ අධ්‍යාත්මයෙහි පැවති සිහියෙන් සිහි ඇත්තේ ද, සුවපත් වූයේ ද වෙමියි දැන ගනියි.
එවං ඛො ආනන්‍ද, පණිධාය භාවනා හොති ආනන්‍ද, මෙසේ භාවනාව නවතා තැබීමෙන් එහි අරමුණ පසුව) සිදුවේ. යම් සේ වනාහී මහත් උක්ගස් බරක් ඔසවා ගෙන (උක්ගස් මඩින) යන්ත්‍ර ශාලාවට ගෙන යන්නාවූ පුරුෂයකුට තමා වෙහෙසට පත්වන පත්වන කල්හි (උක්බර) බිම තබා උක් දණ්ඩක් සපා නැවත (උක්බර) ඔසවා ගෙන ගම යන්නට සිදු වෙයි ද, එසේම රහත් බවට පැමිණීම පිණිස කමටහන් ඉගෙනගත් මේ භික්ෂුවට ද කායික ප්‍රදාහයන් උපන් කල්හි ඒ කමටහන තබා, බුදු ගුණ ආදිය සිහි කිරීමෙන් සිත පහදවා, කළ යුතු දෙය කොට භාවනාව කරගෙන යාමට සිදු වේ. එහෙයින් පණිධාය භාවනා (හෙවත් භාවනාව තබා) යයි කියන ලදී. ඒ පුරුෂයා එම උක්ගස්බර යන්ත්‍ර ශාලාවට ගෙන ගොස් මිරිකා ලබන රස පානය අනුභව කිරීම මෙන් කමටහන මුදුන් පත් කොට ගෙන රහත් බවට පත්වූ මේ භික්ෂුව පල සමවත් සුව අනුභව කිරීම දත යුතුය.