තුන්වැන්නෙහි - සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි - ලුණු දමා රසවත් කිරීම මෙන් සියලු තන්හි කැමති විය යුතුදෙය කියමි යන අරුතයි. යම්සේ වනාහී ලුණු දමා රසවත් කිරීම සියලුම ව්යඤ්ජනයන්හිදී සිදු කෙරේද, එසේම සියලු කටයුතු කරන ඇමතිවරයෙක් යුද්ධ කාර්යය ද, මන්ත්රීකාර්යයද, දොරටුපාල කාර්යය ද යන සියලු කටයුතු සිදු කරයි. එසේම නොසන්සුන් වූ සිතට නිග්රහ කිරීම ද, අලස බවට පත්වූ සිතට ධෛර්යය ලබා දීම ද යන මේ සියල්ල සිහියෙන් ම සිදු කරයි. සිහියෙන් තොරව මෙය ඉටු කිරීමට නො හැක්කේය. එබැවින් මෙසේ කීය. මේ සූත්රයෙහි විදර්ශනා පූර්වභාග වූ සම්බොජ්ඣඞ්ගයම කියන ලදී.
4. මෙත්ත සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි - මෙත්තා සහගතෙන චෙතසා යන ආදී සියල්ල සියලු ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙම මෙය ද ඔව්හු පෙර පිළිවෙළින් ම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්රකාශ කරත්. තීර්ථකයන්ගේ සමයෙහි වනාහී පඤ්චනීවරණයන් ප්රහාණය කිරීමක් හෝ මෛත්රී ආදී බ්රහ්ම විහරණ වැඩීමක් හෝ නොමැත්තේය. කිංගතිකා හොති = කවර නම් සමෘද්ධ වීමක් සිදුවේද? කිම්පරමා = කුමක් උතුම් වේද? කිම්ඵලා = කුමන ආනිසංසයක් වේද? කිම්පරියොසානා = කවර නම් අවසානයක් වේද? මෙත්තා සහගතං = මෛත්රීයෙන් යුක්ත වූයේ, සම්බන්ධවූයේ, එක්ව යෙදුණේ වෙයි. සියලු තන්හි මේ පිළිවෙළ වේ. “විවේකනිස්සිත” (විවේකය ආශ්රිතවූ) ආදිය සඳහා අරුත් කියන ලද්දේය.
අප්පටිකූලං = සත්ත්වයන් පිළිබඳ පිළිකුල් නොවීම, සංස්කාරයන් පිළිබඳ පිළිකුල් නොවීම යනුවෙන් පිළිකුල් නොවීම යන්න දෙවැදෑරුම් වේ. එහිදී, පිළිකුල් නොවූ, සිතට ප්රිය උපදවන වස්තූන් කෙරෙහි යන අර්ථයයි. පටික්කූල සඤ්ඤී = අනිෂ්ට සංඥා ඇති මේ තැනැත්තා අසුභ සංඥා පතුරවමින් හෝ අනිත්යය මෙනෙහි කරමින් හෝ කෙසේ නම් මෙසේ වාසය කරන්නේද? පටිසම්භිදායෙහි මෙසේ කියන ලදී. “පිළිකුල් නොවන දෙයෙහි කෙසේනම් ප්රතිකූල සංඥා ඇතිව වාසය කරයිද? සිතට ප්රිය දෙයෙහි අසුභ සංඥාව කෙසේ පතුරවයි ද? අනිත්ය වශයෙන් කෙසේනම් සලකා බලයිද?” යනුයි. පිළිකුල් වන දෙයෙහි (පිළිකුල් නොවී කෙසේ වාසය කෙරේද යත්) පියකරු නොවන වස්තූන් කෙරෙහි මෛත්රීය පැතිරවීම හෝ (පඨවි ආදී) ධාතුන් වශයෙන් මෙනෙහි කිරීම හෝ කරමින් (අප්පටිකූල සඤ්ඤාදී) පිළිකුල් නොකරන සංඥාව ඇතිව වාසය කරන්නේ නම් වේ. මෙසේද කීය. “පිළිකුල් වන දෙයෙහි පිළිකුල් නොවන සංඥා ඇතිව කෙසේ වාසය කරයිද? පියකරු නොවන වස්තුවෙහි මෛත්රීයෙන් අදහස් පතුරවයි. (පඨවි ආදි) ධාතූන් වශයෙන් සලකා බලයි” යනුවෙනි. ඒ දෙකම මිශ්ර වූ පදයන්හිදී ද මෙම පිළිවෙළම වේ. පිළිකුල් නොවන දෙය පිළිකුල් වන කල්හි එය අසුබය යන පැතිරවීම හෝ අනිත්යයයි මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් සංඥාව ඇත්තේ වාසය කරයි. පිළිකුල් වන දෙය පිළිකුල් නොවන කල්හි එසේම මෛත්රීය පැතිරවීම හෝ ධාතූන් මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් නොවේ යන සංඥා ඇත්තේ වාසය කරන්නේ නම් වෙයි. ඇසින් රූප දැක සිත ප්රසන්න නොවේයයි යන ආදී පිළිවෙළින් කියන ලද අංග සයකින් යුත් උපේක්ෂාව පවත්වමින් පිළිකුළ හෝ අපිළිකුළ යන දෙකම බැහැර කොට සිහි ඇතිව මනා දැනුම ඇතිව එහි උපේක්ෂා සහගතව වාසය කෙරේයයි දත යුතුය.
මෙපමණකින් මෛත්රීයෙන් ධ්යාන තුනක් සතරක් උපදවා එයම පාදක කොට විදර්ශනා වඩා රහත් බවට පැමිණි මේ භික්ෂුවට විදර්ශනාව සමග මාර්ග බෝධ්යංගයන්ගේ ආර්ය සෘද්ධිය ද දක්වන ලද බැවින් දේශනාව විග්රහ කළයුතු වන්නේ ය. මෙම මෛත්රී ධ්යානය පාදක කොට සංස්කාරයන් විමසා බලන්නාවූ යමෙක් (වේද, හේ) රහත් බවට පැමිණීමට නො හැක්කේ වෙයි. එසේ වනුයේ ඔහුට යම් හෙයකින් පරම මෛත්රිය නොවේද. එහෙයිනි. යමක් උතුම් වේද, එය දැක්විය යුතුය. එහෙයින් එය දැක්වීම පිණිස මේ දේශනාව අරඹන ලදී. ඉන් පසුව ද සබ්බසො වා පන රූප සඤ්ඤානං සමතික්කමා (හැම අයුරින්ම රූප සංඥාවන් ඉක්මවා යාම) යන ආදියෙහි ද මේ පිළිවෙළින්ම නැවත දේශනාවගේ ආරම්භය දත යුතුය.