2. පරියාය සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - සම්බහුලා = විනයෙහි එන පිළිවෙළ අනුව “සම්බහුලා” (බොහෝ දෙනෙක්) යන්නෙන් තිදෙනෙක් කියනු ලැබෙති. ඉන්පසු සංඝයා (සමූහය) පිළිබඳව කියනු ලැබේ. සූත්රයන්හි එන පිළිවෙළ අනුව තිදෙනා බැගින් ගෙන ඉන් වැඩිවූ විට “සම්බහුලා” යි හැඳින්වෙන බව දත යුතුය. පිණ්ඩාය පවිසිංසු = පිණ්ඩපාතය සඳහා පිවිසුන ඔව්හු වනාහී තවමත් පිටත් නොවීමු යයි ද, පිටත් වන්නෙමු යයිද කියා නික්මුණ බැවින් “පවිසිංසු” (පිවිසුණහ) යයි කියන ලදී. කුමක් මෙන්ද යත්:- ගමට යන්නෙමි යි නික්මුණ පුරුෂයා යා යුතු ගමට යාමට පෙරදී වුව ද “මේ නම ඇති තැනැත්තා කොහිදැයි ඔහු පිටත්වූ ගමේ අයගෙන් යමකු ඇසු කල්හි ගමට ගියේ යයි කියන්නේමය. (මෙ පරිද්දෙන් දත යුතුය) පරිබ්බාජකානං ආරාමො = දෙව්රමට නුදුරෙහි අන්යතීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමයක් ඇත. ඒ සඳහා මෙය කියන ලදී. සමණො ආවුසො = ඇවැත්නි, ඔබගේ ශාස්තෲ වූ ශ්රමණ ගෞතමයන් වහන්සේ.
මයම්පි ඛො ආවුසො සාවකානං එව ධම්මං දෙසෙම = තීර්ථකයන්ගේ දහමෙහි “නීවරණ පස බැහැර කළ යුතුය, බෝධ්යාංග සත වැඩිය යුතුය” යනුවෙන් මෙසේ නො දැක්වේ. ඔව්හු ආරාමයට ගොස් පිරිස් කෙළවර සිට අන් යමක් බලන්නාක්හු මෙන් අනුන් විසින් කරන ලද්දක්හු මෙන් වී භාග්යවතුන් වහන්සේගේ ධර්ම දේශනය අසත්. ඉක්බිති ශ්රමණ ගෞතමයන් වහන්සේ මෙය බැහැර කරන්න, මෙය වඩන්න යයි කියන්නෝය යනුවෙන් සලකා තමාගේ ආරාමයට ගොස් ආරාමය මැද අසුනක් පණවා උපස්ථායක උපස්ථායිකාවන් පිරිවරා හිස ඔසවා කය නමා තමා ස්වයම්භූඥානයෙන් අවබෝධ කළ ආකාරයක් දක්වන්නාහු “පංචනීවරණ නම් බැහැර කළ යුතුය, සප්ත බෝධ්යංගයන් නම් වැඩිය යුතුයයි” කියත්.
ඉධ නො ආවුසො කො විසෙසා මෙහි ඉධ යනු මෙම පැනවීමෙහි යන අරුතයි. කොවිසෙසො යනු කවර නම් අධික බවක්ද යන අරුතයි. කො අධිප්පායසො = කවර නම් අධික වූ වීර්යයක්ද, කිං නානා කාරණං = කවර විවිධත්වයක්ද ධම්මදෙසනාය වා ධම්ම දෙසනං = යම් හෙයකින් ශ්රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව සමග අපගේ ධර්ම දේශනාව හෝ අපගේ ධර්ම දේශනාව සමග ශ්රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව අරභයා නොයෙක් කරුණු කියන්නේ වේද, ඒ කුමක් නම් වේදැයි කියත්. දෙවන පදයෙහිද මේ පිළිවෙළම වේ.
නෙව අභිනන්දිංසු = මෙය මෙසේම යයි නො පිළිගත්හ. නපටික්කොසිංසු = මෙය මෙසේ නොවේය යනුවෙන් ප්රතික්ෂේප නො කළහ. කිමෙක්ද? ඔබ හැකියාව ඇතිවම මෙසේ කළාහුද? නැතහොත් හැකියාව නැත්තහුදැයි ඇසීය.) හැකියාව ඇත්තෙමු (යි කීහ) නැත ඇවැත්නි, යුෂ්මත්හු ඔබගේ සමයෙහි නීවරණයන් බැහැර කළ යුතුය යන කියමනක් නැත, සප්ත බෝධ්යංගයන් වැඩිය යුතුය යන කියමනක් නැත යන කරුණු කීමට නො හැකිවන්නාහුය. අපට මේ අලුත් පුවතකි, අපි මෙය ශාස්තෲන් වහන්සේට කියන්නෙමු. එවිට අපට ශාස්තෲන් වහන්සේ මිහිරි ධර්මයක් දේශනා කරන්නාහයි යනුවෙන් සිත් පහළ විය.
පරියායො = කාරණය නචෙව සම්පායිස්සන්ති = සම්පාදනය කොට කියන්නට නොහැකි වන්නේය. උත්තරිඤ්ච විඝාතං = සම්පාදනය කොට (සකස් කොට) කීමට නොහැකි අයට වනාහී දුක උපදී. යථා තං භික්ඛවෙ අවිසයස්මිං = මෙහි තං යනු නිපාත මාත්රයකි. යථා = කාරණය සඳහා වූ වචනයයි. යම් හෙයකින් විෂය නොවන කරුණක් පිළිබඳව ප්රශ්නයක් අසන ලද්දේ ද යන අර්ථයයි. සදෙවකෙ = දෙවියන් සහිත යන අරුතින් සදේවකේ යි සෑදේ. (සහ දෙවෙහි සදෙවකෙ) මරුන් සහිත (සමාරක) යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ ලෝකයෙහි කරුණු තුනක් බහා තබා කරුණු දෙකක් උපදියි. ඒ කරුණු පසෙන්ම සත්ත්ව ලෝකයම මැඩගෙන සිටිමින් සදෙවක ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි දෙවියකු ලෙස හෝ මිනිසකු ලෙස විමසා නො බලමියි දක්වයි. ඉතොවා පන සුත්වා = මාගේ මෙම සස්නෙන් හෝ අසා, තථාගත නොවන වෙනත් අයෙක් හෝ තථාගත ශ්රාවකයෙක් හෝ මෙම සස්නෙන් අසා ගෙන සතුටු වන්නේය, ප්රීතියට පත්වන්නේය. සතුටු වීමෙන් තොර වන්නේ නැතැයි දක්වයි.