7. කූටාගාර සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - ආරාම නිසාදී = ආරාම නිසාදී = ආරාමය ඇසුරු කොට ගෙන වෙසෙන බැවින් “ආරාම නිසාදී” යයි කියන ලදී. පරිසාවචරො = පිරිස සමග හැසිරෙනුයේ පිරිස් අතරෙහි වනාහී අඥානයෝ ද, පණ්ඩිතයෝ ද හැසිරෙති. යම් තැනැත්තෙක් වනාහී පරවාද මර්දනය කොට තමාගේ වාදය (මතය) මතු කොට දැක්වීමට සමත් වේද ඒ තෙමේ පිරිසෙහි (ප්‍රමුඛව) හැසිරෙන්නා නම් වෙයි. ආරාමෙන ආරාමං = ආරාමයෙන් ආරාමයට (අන් භික්ෂූන්) අනුව ගමන් කරමි. බැහැරින් නොවේය යන අරුතයි. උයනෙහි ද මේ පිළිවෙළම වේ. අන් අරමකින් වෙනත් අරමකට පිවිස හෝ, අන් උයනකින් වෙනත් උයනකට පිවිස හෝ යනු මෙහි අර්ථය වේ. ඉතිවාදප්පමොක්‍ඛානි සං සං = ප්‍රශ්න කිරිම මෙසේ වෙයි, පැහැදිලි කරදීම මෙසේ වෙයි, යන මේ ආදී පිළිවෙළින් මෙබඳු මතයක් (වාදයක්) ඇති වෙයි. මතයෙන් (වාදයෙන්) මෙසේ මිදී යාම වෙයි, වාදයන්හි ආනිසංසය මෙසේ වෙයි. උපාරමභානිසං සං = මෙය ප්‍රශ්න කිරීමේ දෝෂයයි. මෙය ප්‍රශ්න විසඳීමේ දෝෂයයි, යනුවෙන් මෙසේ වාද දෝෂයන්ගේ ප්‍රතිඵල දැක්වේ.
කථං භාවිතො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරෝ = ශාස්තෲන් වහන්සේ “පරිබ්‍රාජකයා විසින් මාගෙන් මෙපමණ ප්‍රශ්න විචාරණ ලදී, දැන් ප්‍රශ්න කිරීමට නො හැකිව සිටී” යයි දැන, “මේ දේශනාව මෙතෙක් මනාව ගැලපී නැත, දැන් එය මනා ගැලපීමට පමුණුවන්නෙමි”යි තමන් වහන්සේ ම ප්‍රශ්න කරමින් මේ දේශනාව ආරම්භ කළසේක. එහි මනාපං නාභිජ්ඣායති යනු තමා ප්‍රිය කරන අරමුණ දැඩි ලෙස ආශා නොකරයි යන අදහසයි. නාවිහිංසති = ආමිෂයෙන් ලබන සතුට හේතුවෙන් හිංසාවෙන් වැළකෙන්නේ නො වෙයි. තස්ස ඨිතොච කායො හොතිඨිතං චිත්තං අජ්ඣත්තං = ඔහුගේ වූ කලී කය ද සිත ද අරමුණු වන අධ්‍යාත්මයෙහි පිහිටියේ වෙයි. සුසණ්ඨිතං = කමටහන් වශයෙන් මනාව පිහිටි සුවිමුත්තං = කමටහන නිසා සිදුවන විමුක්තියේ හේතුවෙන් මනාව නිදහස් වූ අමනාපං = ප්‍රියනොවන අරමුණ න මඞ්කුහොති = එහි මතුවූ බවක් නො වෙයි. අප්පතිත්‍ථීන චිත්තො = කෙලෙස් වශයෙන් යමක් අපේක්ෂා කරන සිත් ඇති තැනැත්තා අදීන මානසො = දොම්නස් වශයෙන් දීන භාවයට පත් නොවන සිත් ඇත්තේ. අබ්‍යාපන්න චෙතසො = දෝෂ වශයෙන් දූෂිත නොවූ සිත් ඇත්තේ
එවං භාවිතො ඛො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරො එවං බහුලීකතො තීණි සුචරිතානි පරිපුරෙති = මෙහි මෙසේ සුචරිත පූරණය දත යුතුය. මෙම දොරටු සයෙහි දුශ්චරිතයන් අටළොසක් වේ. ඒ කෙසේදයත් ඉෂ්ට වූ ආරම්මණයක් ඇස නමැති දොරටුවෙහි යොමු වූ කල්හි කය වචනය යන අංගයන් චලනය නොකොට එම අරමුණෙහි ලෝභය උපදවන්නහුට “මනො දුශ්චරිතය” සිදු වෙයි. ලෝබ සහිත සිතින් අහෝ මෙය මනෝඥය, සිත් ගන්නේ ය, මනාපය යනුවෙන් කියන්නහුට “වචීදුශ්චරිතය” සිදුවෙයි. එය ම අතින් ස්පර්ශ කරන්නහුට “කාය දුශ්චරිතය” සිදු වෙයි. සෙසු (සොත ආදී) දොරටුවලදී ද මේ පිළිවෙළ ම වේ.
මෙම විශේෂය ද වෙයි. කණ නමැති දොරටුවෙහි වනාහී ශබ්දය නමැති අරමුණට පාදක වූ ස්පර්ශ නො කළ යුතු වූ හක්ගෙඩි ආදී තූර්ය භාණ්ඩයන් ස්පර්ශ කරන්නහුට ද නැහැය නමැති දොරටුවෙහි ගන්‍ධය නමැති අරමුණට පාදක වූ ගඳ මල් ආදිය ස්පර්ශ කරන්නහුට ද, දිව නමැති දොරටුවෙහි රසය නමැති අරමුණට පාදක වූ මාලු මස් ආදිය ස්පර්ශ කරන්නහුට ද, කය නමැති දොරටුවෙහි ස්පර්ශය නමැති අරමුණට පාදක වූ සිවුරු ආදිය ස්පර්ශ කරන්නහුට ද, මන නමැති දොරටුවෙහි ප්‍රඥප්ති වශයෙන් ධර්මාරම්මණ වූ ගිතෙල් (තල) තෙල්, මී පැණි, උක් පැණි ආදිය සිතෙන් ස්පර්ශ කරන්නහුට ද කායදුශ්චරිතය” වේයයි දත යුතුය. සැකෙවින් වනාහී මෙහි දොරටු සයෙහි (දුසිරිත් මෙසේ කිව හැක) කාය සුචරිතය ඉක්මවා යාම කාය දුශ්චරිතය යි, වචී සුචරිතය ඉක්මවා යාම වාග් දුශ්චරිතයයි, මනෝ සුචරිතය ඉක්මවා යාම මනෝ දුශ්චරිතයයි. මෙසේ දුශ්චරිතයන් තුනක් වේ.
මේ භික්ෂුව වනාහී තමාගේ භාවනා ස්මෘතියෙහි පිහිටියේ මේ සුචරිතයන්හි මනාව හැසිරෙයි. කෙසේද යත් = ඇස නමැති දොරටුවෙහි ප්‍රිය අරමුණක් යොමු වූ කල්හි කාය වාක් අංගයන් කම්පනයට පත් නො කර රූපාරම්මණයෙහි විදර්ශනාව පිහිටුවන තැනැත්තාට මනෝ සුචරිතය ඇති වේ. විදර්ශනාව සමග එකට යෙදුණ සිතෙන් මෙය ක්ෂය වන සුලුය, වැනසෙන සුලුය යනුවෙන් කියන තැනැත්තාට වාග් සුචරිතය ඇති වේ. මෙය පහස නොවිඳිය යුතු භාණ්ඩයක්ය (හෙවත් ස්පර්ශ නොකළ යුතු දෙයක්ය) යනුවෙන් සිතා එය ස්පර්ශ නොකරන තැනැත්තාට කාය සුචරිතය ඇති වේ. සෙසු දොරටුවලදී ද මේ පිළිවෙළම වේ. මෙසේ මේ විස්තරයෙන් අටළොස් වැදෑරුම් සුචරිතයෝ ම ගනු ලැබෙත්. සැකෙවින් වනාහී මෙහිදී ද චක්ෂු ආදී දොරටු සයෙහි දී කයෙහි සංවරය කාය සුචරිතයයි ද. වචනයෙහි සංවරය වාග් සුචරිතයයි ද, මනසෙහි සංවරය මනෝ සුචරිතයයි ද වශයෙන් සුචරිතයන් තුනක් ම වේ. මේ ආකාරයෙන් ඉන්‍ද්‍රිය සංවරය සුචරිතයන් තුනක් සම්පූර්ණ කරන්නේ යයි දත යුතුය. මෙපමණකින් සීලය විසින් රකින ලද ඉන්‍ද්‍රිය සංවර සීලය කියන ලදි.
කාය දුච්චරිතං පහාය = යන ආදියෙහි ත්‍රිවිධ වූ කාය දුශ්චරිතය ද. චතුර්විධ වූ වාග් දුශ්චරිතය ද, ත්‍රිවිධ වූ මනෝ දුශ්චරිතය ද අදහස් කරන ලදී. එහි අනෙක් පාර්ශ්වය වශයෙන් කාය සුචරිත ආදිය දත යුතුය. මෙපමණෙකින් කාය සංවරයෙන් ද, වාක් සංවරයෙන්ද ප්‍රාතිමෝක්ෂ සීලය යුක්ත වේ. මනෝ සංවරයෙන් ත්‍රිවිධ ශීලය යනුවෙන් චතුපාරිශුද්ධි ශීලය කියන ලද්දේ වෙයි. මෙම සම්පූර්ණ සූත්‍රයෙහි ම සුචරිතය මුල් කරගත් ලෝකෝත්තරත්වය මිශ්‍රවූ සතිපට්ඨානයන් දැක්වේ. බෝධ්‍යංග සිතට මුල් වූ සතිපට්ඨානයන් පූර්ව භාගයන් වේ. සතිපට්ඨානය මුල් කොටගත් එම බෝධ්‍යංගයන් පූර්වභාගයන්ද වේ. විද්‍යාවෙන් ලැබෙන විමුක්තිය මුල් කොටගත් ලෝකෝත්තර තත්ත්වයන් ද කියන ලද්දේ යයි දත යුතුය. සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.
8. උපවාන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - පච්චත්තං = තමා විසින් ම යොනිසො මනසිකාරා = නුවණින් මෙනෙහි කිරීමෙන් ආරබ්භමානොව = ක්‍රියාත්මක වෙමින් ම. සුවිමුත්තං = කර්ම ස්ථානයෙන් ලබාගත් විමුක්තිය නිසා මනාව නිදහස් වූ අට්ඨිකත්‍වා = ප්‍රයෝජනයක් ඇති කොට, ප්‍රයෝජනවත් වී යනුවෙන් කියන ලද්දේ වෙයි.