8. උපවාන සූත්ර වර්ණනාව
අටවැන්නෙහි - පච්චත්තං = තමා විසින් ම යොනිසො මනසිකාරා = නුවණින් මෙනෙහි කිරීමෙන් ආරබ්භමානොව = ක්රියාත්මක වෙමින් ම. සුවිමුත්තං = කර්ම ස්ථානයෙන් ලබාගත් විමුක්තිය නිසා මනාව නිදහස් වූ අට්ඨිකත්වා = ප්රයෝජනයක් ඇති කොට, ප්රයෝජනවත් වී යනුවෙන් කියන ලද්දේ වෙයි.
9. උප්පාද සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - සනාඤ්ඤත්රා තථාගතස්ස පාතුභාවා = තථාගතයන් වහන්සේගේ පහළ වීම හැර අන් කලෙක්හි නො උපදිත් යන අරුතයි.
10. දුතිය උප්පාද සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - නා ඤ්ඤත්ර සුගත විනයා = සුගතයන් වහන්සේගේ අවවාදයෙන් තොරව නො උපදිත් යනුයි.
පළමු වැන්න වූ පබ්බත වග්ගය නිමියේය.
2. ගිලාන වර්ගය
1-3. පාන ආදි සූත්ර වර්ණනා
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති = යම් අයගේ සතර ඉරියවූ වේ ද, ඒ අය හේතු කොට ගෙන ම මෙය කියන ලදී. සීලං නිස්සාය – චතුපාරිශුද්ධි ශීලය ඇසුරු කොට සත්ත බොජ්ඣඞ්ගා = විදර්ශනා මාර්ගය සහිත වූ බෝධ්යංගයන් දෙවැන්න හා තෙවැන්න පහසු අරුත් ඇත්තේමය.
4-10. ගිලාන ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - තථා පහීනොච ආයස්මතො මහා කස්සපස්ස සො ආබාධො අහොසී = මේ බෝධ්යංග භාවනාව මනාව ශ්රවණය කරන්නා වූ තෙරුන් වහන්සේට “පැවිදි වූ දිනයෙන් සත්වන දිනයෙහි සත්යයන් අවබෝධ කරන්නාවූ තමාහට මේ බෝධ්යංගයන් පහළ විය” යනුවෙන් සිහිපත් විය. ඉක්බිති “ශාස්තෲන් වහන්සේගේ ශාසනය ඒකාන්ත වශයෙන් නෛර්යාණික යයි” සිතන්නාවූ උන්වහන්සේගේ රුධිරය ප්රසන්න විය. උපාදා රූපය පිරිසිදු විය. පියුම් පතෙක වැටුණ දිය බිඳක් මෙන් සිරුරෙන් රෝගය ඉවත්ව ගියේය.
එහෙයින් “තථා පහීනොච ආයමතො මහා කස්සපස්ස සො ආබාධො අහෝසී” යනුවෙන් කියන ලදී. පස්වැන්නෙහි ද, සයවැන්නෙහිද මේ පිළිවෙළම වේ. මේ සූත්ර තුනෙහිදීම පර්වත පාදයන්හි මල් පිපුණ විෂ සහිත වෘක්ෂයන්ගෙන් හමන වාතය ස්පර්ශ වීමෙන් මිනිසුන් හට වැළදුණ සිරුර මඩින සීතල සහ උණ රෝගය (යන ආබාධය) ගැන කියන ලදැයි දත යුතුය. සෙසු සූත්ර සියලු තන්හි පහසු අරුත් ඇත්තේමය.
දෙවන ගිලාන වග්ගය නිමියේය.
3. උදායි වර්ගය
1-2. බෝධාය ආදි සූත්ර වර්ණනා
තෙවන වර්ගයේ පළමුවැන්නෙහි - කිත්තාවතා නුඛො භන්තෙ බොජ්ඣඞ්ගාති වූච්චන්ති = “ස්වාමීනී, අවබෝධ කරන්නා වූ අංගයන් කොපමණ නම් ඇතැයි කියන ලද්දේදැයි” විචාරයි. බොධාය සංවත්තන්ති = අවබෝධ කරගැනීම පිණිස පවතිත්. මේ සූත්රයෙහිදී මිශ්ර වූ බෝධ්යංගයන් කියන ලදී. දෙවැන්නෙහිදී ධර්මය බෙදා වෙන් කිරීම කියන ලදී.
3-5. ඨානි ආදි සූත්ර වර්ණනා
තෙවැන්නෙහි - කාමරාගට්ඨානීයානං = කාමරාගයට හේතු වූ අරමුණු පිළිබඳව, ක්රෝධයට හේතුවන කරුණුවලදීද මේ පිළිවෙළම වේ. මෙම සම්පූර්ණ සූත්රයම අරමුණු කරණ කොට ගෙන ම කියන ලදී. පළමුවන වර්ගයෙහි දෙවන සූත්රයෙහි කියන ලද බෙදා දැක්වීම ද මෙහිදී දක්නට ලැබේමය. සිවු වැන්නෙහිදී මිශ්ර වූ බෝධ්යංගයන් කියන ලදී. පස්වැන්නෙහි - අපරිහානියෙ ධම්මෙ = පිරිහීම් ඇති නොකරවන ස්වභාව ධර්මයන්.
6-7. ඛය ආදි සූත්ර වර්ණනා
සය වැන්නෙහි - එතදවොච = මේ පිරිස අතරෙහි සබඳතා පැවැත්වීමෙහි දක්ෂවූ උදායි ස්ථවිර නමැති භික්ෂුවක් හුන්නේය. හේ තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් තමාට දෝෂාරෝපණ සහිතව කරන ලද දේශනාවක් බව දැන තමාගෙන් ප්රශ්න අසන්නේ යයි සිතා දේශනාවෙහි සම්බන්ධතාවය ගැටීමකට ලක් කරන්නෙමියි (සිතා) ප්රශ්න කරන්නේ මෙසේ කීය. විපුලං යන ආදී සියල්ල මනාව වර්ධනය කරගත් සිත සඳහා කියන ලදී. මනාව වර්ධනය කරගත් පිරිසිදු සිහිය නමැති සම්බෝධ්යංගය විපුල වූයේද, උසස් බවට පත්වූයේ ද, අප්රමාණ (ඉතා උතුම්) වූයේ ද ක්රෝධ සිත් රහිත වූයේ ද වෙයි. ඒ වනාහී උසස් වූ බැවින් විපුල යයි ද, උතුම් තත්ත්වයට පත්වූ බැවින් මහග්ගත යයි ද, වැඩි දියුණු කරගත් උත්තම ස්වභාවයක් ඇති බැවින් අප්පමාණ යයිද, නීවරණ දුරු වීමෙන් ව්යාපාද රහිත වූ බැවින් අබ්යාපජ්ඣ යයි ද යෙදේ. තණ්හාය පහාණා කම්මං පහීයති = තෘෂ්ණාව මුල් කොට ගත් යම් කර්මයක් උපදීද එය තෘෂ්ණාවගේ ප්රහීන වීමෙන් සන්සිඳේ. කම්මස්ස පහාණ දුක්ඛං - කර්මය මුල් කරගත් යම් කිසි සාංසාරික දුකක් උපදින්නේ ද එය කර්මයේ ප්රහාණය වීමෙන් සන්සිඳේ. තණ්හක්ඛයාදයො = තෘෂ්ණාව යන ආදියේම ක්ෂය වීමයි. අර්ථ වශයෙන් වනාහී මේ පද විසින් නිර්වාණය පිළිබඳව කියන ලද්දේයයි දත යුතුයි. සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.