3. සීල සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - සීල සම්පන්නා = මෙහිදී ක්ෂිණාශ්‍රවයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර සීලය ගන්නා ලදී. එයින් (ඒ සීලයෙන්) යුක්ත වූයේ යන අරුතයි. සමාධි, ප්‍රඥා දෙකෙහි ද මේ පිළිවෙළම වේ. විමුක්තිය නම් ඵල විමුක්තියම වේ. විමුක්තිඥාන දර්ශනය ප්‍රත්‍යවේක්ෂා ඥානයයි. මෙහිදී “සීල” ආදිය මෙසේ ලෞකික ද, ලෝකෝත්තර ද වේ. විමුක්තිය ලෝකෝත්තර වේ. විමුක්තිඥාන දර්ශනය ලෞකිකම වේ.
දස්සනම්පහං “දසසනමපි + අහං” (යනු විසන්‍ධියයි) ඒ මේ දර්ශනය වනාහී (ඇසෙන් කෙරෙන) චක්ෂු දර්ශනය. ඥානයෙන් කෙරෙන දර්ශනය යනුවෙන් දෙපරිදි වේ. එහි ප්‍රසන්න වූ නෙත්වලින් ආර්යයන් විසින් දක්නා ලද ලක්ෂණයන් දැක්ම ධ්‍යානයෙන් හෝ විදර්ශනාවෙන් හෝ මාර්ගඵලයන්ගෙන් හෝ අවබෝධ කළ තැනැත්තහුගේ අවබෝධය ඥාන දර්ශනය නම් වේ. මෙහි අර්ථයෙහි දී චක්ෂු දර්ශනය අදහස් කරන ලදී. ආර්යයන් හට වූ කලී ප්‍රසන්න වූ ඇස්වලින් කෙරෙන බැලීම ද ඉතා ප්‍රයෝජනවත් වන්නේ මය. සවණං = අසවල් නම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අසවල් නම් රටෙහි හෝ ජනපදයෙහි හෝ ගමෙහි හෝ නියම් ගමෙහි හෝ විහාරයෙහි හෝ ලෙණෙහි හෝ වාසය කරන්නාහ යි කියන්නාහු ගේ කියමන කණෙන් ඇසීම යන මෙය ඉතා ප්‍රයෝජනවත් වන්නේ ම ය. උපසංකමණං = දානයක් හෝ දෙන්නෙමි, ප්‍රශ්නයක් හෝ විචාරන්නෙමි, ධර්මයක් හෝ අසන්නෙමි, සත්කාරයක් හෝ කරන්නෙමි යන මෙවැනි සිතකින් ආර්යයන් වහන්සේ වෙත පැමිණීම පයිරුපාසනං = ප්‍රශ්න විමසමින් ඇසුරු කිරීම. ආර්යයන්ගේ ගුණයන් අසා උන්වහන්සේලා වෙත එළඹ, ආරාධනා කොට දන් දී, ස්වාමීනි, කුසලය නම් කුමක් ද යන ආදී වශයෙන් ප්‍රශ්න විචාරීම යන අදහසයි.
අනුස්සතිං = රාත්‍රිස්ථාන, දිවා ස්ථානයන්හි හුන් ආර්යයන් පිළිබඳව, දැන් ආර්යයන් වහන්සේලා ලෙන්, ගුහා, මණ්ඩප ආදී තන්හි ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල සුවයෙන් කල් ගෙවන්නාහු වෙතියි යනුවෙන් සිහි කිරීමයි. යමකු උන්වහන්සේලා සමීපයෙහි අවවාද ලැබුයේ වේද ඔහු එම කරුණු බෙදා (පරීක්‍ෂා කොට) මෙ තැනදී විදර්ශනාව කියන ලදී, මෙතැන දී මාර්ගය කියන ලදී, මෙතැන දී ඵලය කියන ලදී යනුවෙන් මෙසේ සිහිපත් කිරීමයි. අනු පබ්බජ්ජා = ආර්යයන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගිහිගෙයින් නික්ම උන්වහන්සේලා සමීපයෙහි පැවිදිව උන් වහන්සේලාගේම අවවාද අනුශාසනා අපේක්ෂාවෙන් හැසිරෙන්නහුගේ පැවිද්ද “අනු පබ්බජ්ජා” නම් වේ. අන් අයගේ සමීපයෙහි අවවාද අනුශාසනා අපේක්ෂාවෙන් හැසිරෙන්නහුගේ පැවිද්ද ද “අනු පබ්බජ්ජා” නම් නො වේ.
මෙසේ පැවිදිවූවන් අතුරෙහි වනාහී මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ “අනු පබ්බජ්ජා” ව පතා පැවිදි වූවාහු සිය දහස් ගණනක් වූහ. එසේම ඒ තෙරුන් වහන්සේගේ ම සද්ධි විහාරික වූ චන්ද ගුත්ත තෙරුන්ගේ ද, උන්වහන්සේ ද සද්ධි විහාරික වූ සූරියගුත්ත තෙරුන්ගේ ද, උන් වහන්සේගේ ද සද්ධි විහාරික වූ අස්සගුත්ත තෙරුන්ගේ ද, උන්වහන්සේගේ ද සද්ධි විහාරික වූ යෝනක ධම්මරක්ඛිත තෙරුන්ගේද, උන් වහන්සේගේ ද සද්ධිවිහාරික වූ ආශෝක රජුගේ කණිටු සොයුරා වූ තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේගේ අනු පබ්බජ්ජ භාවය පතා පැවිදි වූවාහු කෝටි දෙක හමාරක සංඛ්‍යාවක් වූහ. මහින්ද තෙරුන් වහන්සේගේ අනු පබ්බජිත තෙරවරුන්ගේ ගණන් සීමාවක් ඇත්තේ නැත. අද දවස දක්වා ලක්දිව, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පැවිදි වන්නාහු මහින්ද තෙරුන් වහන්සේගේ ම පැවිද්ද අනුව පැවිදි වන්නෝ නම් වෙත්.
තං ධම්මං = ඔවුන්හට අවවාද අනුශාසනා සහිත වූ එම ධර්මය. අනුස්සරති = සිහි කරයි. අනුවිචක්කෙති = විතර්කයෙන් අපහසුතාවයට පත් කරයි. ආරද්ධො හොති = පරිපූර්ණ වෙයි. පරිචින්ති යන ආදී සියල්ල එහි ඥානාන්විත ක්‍රියාවන් වශයෙන් කියන ලදී. එසේ නැතහොත් පරිචිනති යනු ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ විමසා බලයි යන අදහසයි. පවිචරති = එහි නුවණ යොදවයි. පරිවිමංසමාපජ්ජති = විමසීමට, බැලීමට, ගවේෂණයට පැමිණෙයි.
ප්‍රතිඵලයන් සතක් වේ. ආනිසංසයන් සතක් වේ යන මේ දෙකම අර්ථ වශයෙන් එකක්ම වේ. දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති රහත් බව ලබා ගන්නා තැනැත්තේ මේ ආත්ම භාවයෙහිම එය ලබා ගනියි. එය ද වනාහී කල් ඇතිව නොපැමිණියාවූම මරණ කාලෙයෙහි යන අර්ථයයි. අථමරණ කාලෙ = ඉක්බිති මරණයට ආසන්න කාලයෙහි
අන්තරා පරිනිබ්බායී = ආයුෂයේ මධ්‍යය නො ඉක්මවා පිරිනිවෙන තැනැත්තා හෝ තුන් ආකාර වේ. කල්ප දහසක් ආයු ඇති අවිහ (නම් බඹ) ලොව ඉපදී යම් එක් අයෙක් උපන් දිනයෙහි ම රහත් බවට පැමිණෙයි. ඉදින් උපන් දිනයෙහිම රහත් බවට නො පැමිණේ නම් පළමුවන කල්ප සියයකින් මතුයෙහි රහත් බවට පැමිණේ. මේ තැනැත්තා “අන්තරා පරිනිබ්බායී” (හෙවත් පූර්ණ ආයුස නො විඳ අතරතුරෙහි පිරිනිවීමට පත් වන්නෙක්) වේ. එසේ කිරීමට නො හැකි වන වෙනත් අයෙක් කල්ප දෙසියයකින් මතුයෙහි රහත් බවට පැමිණෙයි. මේ දෙවැන්නා වෙයි. එසේත් නොහැකි වන තවත් අයෙක් කල්ප හාරසියයකින් මතුයෙහි රහත් බවට පැමිණෙයි. මේ “අන්තරා පරිනිබ්බායී” වන තුන් වැන්නායි.
කල්ප පන්සියයක් ඉක්මවා රහත් බවට පැමිණෙනුයේ “උපහච්ච පරිනිබ්බායී” (කල් නිම කොට පිරිනිවියේ) නම් වෙයි. අතප්ප ආදී බ්‍රහ්ම ලෝකයන් හි මෙ පිළිවෙළම වේ. යම් කිසි තැනෙක උපන් තැනැත්තෙක් වනාහී සංස්කාර සහිතව මනා වීර්යයෙන් යුතුව රහත් බවට පැමිණියේ වේද හේ “සසඞ්ඛාර පරිනිබ්බායී” (සංස්කාර සහිතවම පිරිනිවියේ) නම් වේ. අවිහ ආදී බ්‍රහ්ම ලෝකයන්හි උපන්නේ ද එහි දිවි හිමි තෙක් වාසය කොට මතු මතුයෙහිද ඉපිද අකණිටාවට පැමිණියේ ද හේ තෙමේ “ඌර්ධ්ව ගාමී අකණිට්ඨ ගාමී” තැනැත්තා නම් වෙයි.