2. කාය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ආහාරට්ඨිතිකො = (ආහාර ආදී) ප්‍රත්‍යයන් අනුව පවත්නා වූ ආහාරං පටිච්ච = ප්‍රත්‍යය නිසා සුභ නිමිත්තං = යහපත් දෙය ද සුබ නිමිත්තකි. අයොනිසො මනසිකාරො = වැරදි ලෙස මෙනෙහි කිරීමයි. වැරදි මඟට යොමු වූ මෙනෙහි කිරීම යි, අනිත්‍යයෙහි නිත්‍යයයි යනුවෙන් හෝ දුකෙහි සැපයයි යනුවෙන් හෝ අනාත්මයෙහි ආත්මයයි යනුවෙන් හෝ අසුභයෙහි සුභයයි යනුවෙන් හෝ මෙනෙහි කිරීමයි. එම සුභ ආරම්මණයෙහි එය බහුලව පවත්වන්නහුට කාමච්ඡන්දය උපදියි. ඒ නිසා “(අත්‍ථි භික්ඛවෙ සුභ නිමිත්තං) මහණෙනි, සුබ නිමිත්තක් ඇත” යන ආදිය කියන ලදී. මෙසේ සියළු තන්හි නීවරණයන්හි (ක්ලේශයන්හි, බාධකයන්හි) යෙදීම දත යුත්තේය.
පටිඝ නිමිත්තං = යන ආදියෙහි වූ කලී “පටිඝ” යනු ක්‍රෝධයට නිමිත්තයි ක්‍රෝධයට අරමුණ යයි ද කිව හැක. අරති = කලකිරුණු බව යමක් සඳහා මෙය කියන ලද්දේ ද- එහි “අරති” නම් කුමක් ද? ඈත පිහිටි සෙනසුන්හි හෝ යම් යම් උසස් කුසල් දහම්හි නො ඇලීම, අකැමති වීම, ආශා නො ඉපද වීම, සතුටු නොවීම, උකටලී වීම, බියෙන් මෙන් ඉවත් වීම යන මේ කරුණුවලින් යුක්ත වීම “අරති” යයි කියනු ලැබේ.
තන්‍දී = අධික ශීතල ආදී හේතූන්ගෙන් උපන් කල්හි දැන් ශීතල වැඩිය. උණුසුම වැඩිය, කුසගිනි වැඩිය, කුස පිරුණා වැඩිය, දුර ගමන් ගියෙමි යන ආදී වශයෙන් කියයි. යමක් සඳහා “තන්‍දී” යයි කියනු ලැබේ ද - එහි “තන්දී” නම් කුමක් ද යත් :- යම් ප්‍රමාදී බවක්. ප්‍රමාදී බවට පත් වීමක්. අලස සහිත සිතුවිල්ලක්, අලස බවක්, අලස බවට පැමිණීමක්, අලස බවට හිමිවීමක් (යන මේවායින් යම් තත්ත්වයක්) ඇතිවූයේ නම් එය “තන්දී” යයි කියනු ලැබේ.
විජම්භිකා = කෙලෙස් වශයෙන් කය නැමීමයි. යමක් සඳහා මෙය කියන ලද්දේ ද, එහි “විජම්භිකා” යනු කවරේද යත් :- ශරීරයේ යම් කිලිපොලා හැරීමක්, විජෘම්භනයක්, හැකිලීමක්, නැමීමක්, සැහැල්ලු නැමීමක්, අධික ලෙස නැමීමක්, රෝගී ස්වභාවයක් යන මේවායින් යමක් වේද මෙය “විජම්භිකා” යයි කියනු ලැබේ.
භත්ත සම්මදො = අහර ගැනීමෙන් පසුව දැනෙන ඩාහ ගතිය. යමක් සඳහා මෙය කියන ලද්දේ ද, එහි “භත්ත සම්මදො” නම් කුමක් ද? ආහාර ගත් තැනැත්තහුට ආහාර මුර්ඡාව, ආහාර ක්ලාන්තය, ආහාර ඩාහය, කායික අපහසුතාවය යන මේවායින් යමක් ඇති වේද - මෙය “භත්ත සම්මදො” යයි කියනු ලැබේ.
චෙතසො ලීනත්තං = සිතේ සැඟවුණ බව. යමක් සඳහා මෙය කියන ලද්දේද එහි “චෙතසොලීනත්තං” නම් කුමක්ද? - සිතේ යම් අසුබ බවක්, අකර්මණ්‍ය භාවයක්, හුදෙකලා බවක්, අධිකව හුදෙකලා වන ස්වභාවයක්, සැඟවෙන ගතියක්, වැඩියෙන් සැඟවෙන ගතියක්, හැකිලී විසීමක්, සිතේ මැලි බවත්, වඩාත් මැලි බවක්, අලසව විසීමක්, යන මේවායින් යමක් වේද - මෙය “චෙතසො ලීනත්තං” යයි කියනු ලැබේ.
චෙතසො අවුපසමො - යම්සේ වනාහී පහවූ ගිනිදැල් ඇත්තේ වුව ද, ගිනි අඟුරු යම්තාක්කල් නොසන්සිඳේද (නොනිවේදෙ) ඒතාක් කල් තැවීම සිදු කරන්නේමය. එසේම සිතේ නොසන්සුන් තත්ත්වය නිසා මෙම උද්ධච්ච කුක්කුච්චය (නොසන්සුන්බව හා කුකුස පසුතැවිල්ල) ම ඇති වේ.
විචිකිච්ඡා ඨානීයාධම්මා = විචිකිච්ඡාව හා බැඳුණ අරමුණු, නුවණින් මෙනෙහි නොකිරීම සියලු තන්හිම කියන ලද පිළිවෙළින්ම වේ. මෙසේ මෙහි කාමච්ඡන්‍දය හා විචිකිච්ඡාව (කාමාශාව හා සැකය) යන මේ තත්ත්වයන් දෙක අරමුණකින් උපදීයයි කියන ලදී. ව්‍යාපාදය (ක්‍රෝධය) අරමුණ හේතුවකින් උපදීයයි ද කියන ලදී.
සති සම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා = අරමුණු වෙත යොමු වීම, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නවලෝකෝත්තර ධර්ම පිළිබඳව සිහියෙන් යුක්ත වීමෙන්. තත්‍ථ යොනිසො මනසිකාර බහුලී කාරො = එහි නැවත නැවත පිළිවෙළ සිහි කිරීමේ ක්‍රියාව
“කුසලා කුසල ධම්ම” යන ආදියෙහි කුසල යනු කුසල භාවය නිසා උපන් නිවැරදි සුඛ විපාකයන් අකුසල = අකුසල භාවය නිසා උපන් වැරදි සහිත දුඃඛවිපාකයන්. සාවජ්ජා = අකුසල් අනවජ්ජා = කුසල් පහත්, උසස්, අයහපත් යහපත් යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. සප්පටිභාගා = අයහපත් සහ යහපත් යන අංශ දෙක අසුබ (හෙවත් කලු) විපාක දෙන බැවින් අසුබ (හෙවත් කණ්හ) යයිද, සුබ (හෙවත් සුදු) විපාක දෙන බැවින් සුබ (හෙවත් සුක්ක) යයිද කියවේ. “සප්පටිභාග” යනු සමාන විපාක කොටස්ය යන අරුතයි. ප්‍රතිපක්ෂවූ කොටසක් ඇති බැවින් “සප්පටිභාගා” වේ. කලු දේවලට හෙවත් පාපයනට සුදු දේවල් හෙවත් පින් ප්‍රතිපක්ෂ වේ. සුදු දේවලට හෙවත් පින්වලට කලු දේවල් හෙවත් පාපයන් ප්‍රතිපක්ෂ වේ. මෙසේම සමාන කොටස් ඇතැයි දැක්වේ. කොටසක් ඉවත් කරන ලද්දේය යන අරුතින් ද “සප්පටිභාග” නම් වේ. අකුසලය වනාහී කුසලය ඉවත් කොට තමාගේ විපාකය දෙයි. කුසලය ද අකුසලය ඉවත් කොට තමා ගේ විපාකය දෙයි. මෙසේ කලු- සුදු හෙවත් අකුසල් හා කුසල් “සප්පටිභාග” (හෙවත් සමාන කොටස්) නම් වේ.