10. තිරච්ඡානකථා සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - අනෙක විහිතං = නානාවිධ වූ තිරච්ඡාන කථං = සසරින් නිදහස් නොවීමට හේතුවන කථාව ස්වර්ග මෝක්ෂ මාර්ගයන් වෙනුවට තිරිසන් මාර්ග කථාව. රාජ කථං යන ආදියෙහි මහා සම්මත, මන්ධාතු, ධම්මාසෝක යන රජුන් අරභයා මහානුභාව ඇතැයි යන ආදී පිළිවෙලින් පැවති කථාව “රාජ කථා” නම් වේ. චොර කථා ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ඒ අතරෙහි අසවල් රජ තෙමේ රූප සම්පන්නය. දැක්මට ප්රියය යන ආදී පිළිවෙළින් කෙරෙන ලෞකික කථාවම තිරච්ඡාන කථා නම් වෙයි. මෙවන් මහානුභාව සම්පන්න හේ තෙමේ පවා දුබල වී නැති වී ගියේය යනුවෙන් පවත්නා කථාව කමටහන් බවෙහි පිහිටයි. සොරුන් අතරෙහිද මූලිකයා මෙසේ මහානුභාව ඇත්තෙකි. ඔවුන්ගේ කර්මය හේතු කොට ගෙන මෙසේ වූහයි යන ලෞකික කථාවම තිරච්ඡාන (තිරිසන්) කථා නම් වෙයි. යුද්ධ ආදියෙහි දී අසවලා විසින් අසවලා මෙසේ මරා දමන ලද්දේය. මෙසේ විදින ලද්දේය යනාදී කථාද කාමාස්වාද වශයෙන් කෙරෙන කථා තිරිසන් කථා නම් වෙයි. ඔව්හු ද අභාවයට පත්වූහ යනුවෙන් පවත්නා කථා හැම තැන්හිම කමටහනක් ම වෙයි. තව ද අන්න (ආහාර) ආදියෙහිදී මෙසේ වර්ණවත්, සුවඳවත්, රස පහස යුත් අහරක් කෑවෙමු, අනුභව කෙළෙමු, පීවෙමු යයි කාමාස්වාද වශයෙන් කීමට සුදුසු නොවේ. අතීතයෙහි මෙසේ වර්ණ ආදියෙන් යුක්ත වූ ආහාරපාන, වස්ත්ර, යාන, සයන, මල්දම්, සුවඳ විලවුන් සිල්වතුන්හට දුන්නෙමු, චෛත්යයන් වෙත පූජා කෙළෙමු, යයි යහපත් අරුත් ඇති කොට ඒවා සත්ය නම්, එසේ කීම සුදුසුය.
ඤාති කථා = අපගේ නෑයෝ සූරය, දක්ෂය යනුවෙන් හෝ, පෙර අපි මෙසේ විසිතුරු යානාවලින් චාරිකා කෙළෙමු යයි කියා හෝ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. අපගේ එම නෑයෝ පවා වැනසී ගියාහුයයි කියා හෝ පෙර අපි මෙවැනි යානාවන් සංඝයාට දුන්නෙමු යයි හෝ යහපත් අරුත් ඇති කොට කිවයුතු වේ. ගාම කථා = මේ ආදියෙහිදී අසවල් ගමෙහි වැසියෝ යහපත් ලෙස වෙසෙති, අයහපත් ලෙස වෙසෙති, ඔව්හු සුභික්ෂයහ, දුර්භික්ෂයහ යන ආදී වශයෙන් හෝ අසවල් ගමෙහි වැසියෝ සූරයෝය, දක්ෂයෝය යනුවෙන් මෙසේ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. ඔව්හු ශ්රද්ධාවන්තයෝය, පැහැදී සිටින්නාහුය යනුවෙන් හෝ ක්ෂය වීමට විනාශයට පත්වූහ යනුවෙන් හෝ එය සත්ය නම් කීම සුදුසුය. නිගම නගර ජනපද කථාවන්හිද මේ පිළිවෙළම වේ.
ඉත්ථි කථා = (ස්ත්රීන් පිළිබඳ කථා) ආදියෙහි ද වර්ණ සලකුණු ආදිය හේතු කොට ගෙන ආස්වාදනීය වශයෙන් කීමට නොවටනේය. ශ්රද්ධාවන්තය, පැහැදීමෙන් යුක්තය, අභාවයට පත්වූහ යනුවෙන් මෙසේ කීමට හැකිනම් සුදුසු වේ. සූරකථා = නන්දිමිත්ර නම් යෝධයා සූරයෙක් වූයේ යයි රස විඳීම් වශයෙන් කීම සුදුසු නොවේ. ශ්රද්ධාවන්ත, පැහැදුන අයෙක් විය, ඔහු නැති වී ගියේය යනුවෙන් මෙසේ කීම සුදුසු වේ. සූර කථා යයි ද පාඨයෙක් වේ. ඒ සුරකථා ව ද මෙසේ වේ. සුරාපානය කළ අය රතිය උපදවන්නෝ යයි රස විඳීම් වශයෙන් කීම සුදුසු නොවේ. විපාක වශයෙන් එය උමතු බව සඳහා පවතියි යන ආදී වශයෙන් කීම සුදුසු වේ. විසිඛා කථා = අසවල් වීථියෙහි වැසියෝ මනාව ජීවත් වෙතියි හෝ අසවල් වීථියෙහි වැසියෝ දක්ෂ වූ, සමත්කම් ඇති අය යයි හෝ රස විඳිම් වශයෙන් කීමට නොවටනේය. ශ්රද්ධාවන්තයෝය, පැහැදුණ අයය. අභාවයට පත්වූහ යනුවෙන් මෙසේ කීමට වටනේය. කුම්භට්ඨාන කථා = දිය තොටු පොළවල්හි කථායයි කියනු ලැබේ. දිය ගෙනෙන දාසීන්ගේ කථායයිද කියනු ලැබේ. අසවල් ප්රාසාදයෙහි වෙසෙන තැනැත්තිය නැටීමට ද ගැයීමට ද දක්ෂයයි ආස්වාද වශයෙන් කීම සුදුසු නොවේ. ශ්රද්ධාවන්ත පැහැදුන තැනැත්තියක්ය ආදී වශයෙන් ම කීම සුදුසු වේ.
පුබ්බපෙත කථා = අතීතයෙහි වූ ඥාතීන් පිළිබඳ කථා එහිදී වර්තමාන ඥාතී කථාවන් හා සමාන කොට විනිශ්චය කෙරේ. නානත්ත කථා = පෙර පසු කථාවන්ගෙන් වෙනස් වූ විවිධ ස්වභාවයේ වෙනත් නිෂ්ප්රයෝජන කථා. ලොකක්ඛායිකා = මෙලොව කුමකින් නිර්මිත වූයේ ද, අසවල් දෙයින් නිර්මිත වූයේය, ඇට සුදු බැවින් කවුඩා සුදුය, ලේ රතු බැවින් කොක්කු රතුය යන මේ ආදී වශයෙන් කෙරෙන කථා සියල්ල ලෞකික වූ ද, පරලොවක් නැත යන අදහසින් කෙරෙන්නාවූ ද පිළිසඳර කථාවය. සමුද්දක්ඛායිකා කුමක් හෙයින් සමුද්ද නම් වීද? සගර නම් දෙවියා විසින් ලද්දේයයි හස්ත මුද්රාවෙන් දැන්වූ බැවින් “සමුද්ද” නම් විය. මේ ආදී නිරර්ථක කථා “සමුද්දක්ඛායික කථා” නම් වේ. මෙය පවත්නා දෙය (භව්ය) වේ. මෙය නොපවත්නා දෙය (අභව්ය) වේ යන ආදී ඒ ඒ නිරර්ථක කරුණු කියා පවත්වන කථාව ඉති භවා භව කථා නම් වේ. මෙහි ද “භව” යනු ශාස්වත (සදාකාලික පැවැත්ම) යි. “අභව” යනු උච්ඡේදය (නැවත නො ඉපදීම) යි. භව යනු වුඩ්ඪි (වර්ධනය) යි, අභව යනු හානියයි. භව යනු කම් සුවයයි, අභව යනු සිරුරට දුක් දීමයි. මෙසේ සය වැදෑරුම් වූ මෙම “ඉති භවාභව” (භව සහ අභව යනු මෙසේය) කථාව සමග දෙතිස් තිරිසන් කථා පවතී. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
පළමුවන සමාධි වර්ගය නිමි.
2. ධම්මචක්කප්පවත්තන වර්ගය
1. ධම්මචක්කප්පවත්තන සූත්ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - බාරාණසියං = මෙම නම ඇති නගරයෙහි. ඉසිපතනෙ මිගදායෙ = ඍෂින්ගේ පහළට බැසීම, ඉහළට නැගීම යනුවෙන් මෙසේ ලැබූ නම ඇත්තාවූ ද, මුවන් හට අභය දානය වශයෙන් දෙන ලද බැවින් මිගදාය නම්වූ ද ආරාමයෙහි. මෙහිදී උපනුපන් සර්වඥයන් වහන්සේලා ඍෂීන් බිමට බස්නා මෙහිදී දම්සක් පැවත්වීම සඳහා හිඳ ගනිත්ය යන අර්ථය වේ. සත් දිනයෙක නිරෝධ සමාපත්තියෙන් නැගී සිට අනවතප්ත විලෙහිදී කරන ලද මුව දෙවීම් ආදී කටයුතු ඇත්තාහු අහසින් අවුත් බිමට බැසීම් වශයෙන් මෙහි පතනය වෙත් යයි ද, පොහෝ දිනවල හා පොහොය නැති දිනවල ද රැස් වෙත් යයි ද, ගන්ධ මාදන (පර්වත) යට ආපසු යන සෘෂිවරු එතැනින්ම අහසට නගිත් යයිද මෙසේ සෘෂින්ගේ බිමට බැසීම් අහසට නැගීම් සිදුවන තැන වශයෙන් ඒ ස්ථානය ඉසිපතනය යයි කියනු ලැබේ.