2. ධම්මචක්කප්පවත්තන වර්ගය
1. ධම්මචක්කප්පවත්තන සූත්ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - බාරාණසියං = මෙම නම ඇති නගරයෙහි. ඉසිපතනෙ මිගදායෙ = ඍෂින්ගේ පහළට බැසීම, ඉහළට නැගීම යනුවෙන් මෙසේ ලැබූ නම ඇත්තාවූ ද, මුවන් හට අභය දානය වශයෙන් දෙන ලද බැවින් මිගදාය නම්වූ ද ආරාමයෙහි. මෙහිදී උපනුපන් සර්වඥයන් වහන්සේලා ඍෂීන් බිමට බස්නා මෙහිදී දම්සක් පැවත්වීම සඳහා හිඳ ගනිත්ය යන අර්ථය වේ. සත් දිනයෙක නිරෝධ සමාපත්තියෙන් නැගී සිට අනවතප්ත විලෙහිදී කරන ලද මුව දෙවීම් ආදී කටයුතු ඇත්තාහු අහසින් අවුත් බිමට බැසීම් වශයෙන් මෙහි පතනය වෙත් යයි ද, පොහෝ දිනවල හා පොහොය නැති දිනවල ද රැස් වෙත් යයි ද, ගන්ධ මාදන (පර්වත) යට ආපසු යන සෘෂිවරු එතැනින්ම අහසට නගිත් යයිද මෙසේ සෘෂින්ගේ බිමට බැසීම් අහසට නැගීම් සිදුවන තැන වශයෙන් ඒ ස්ථානය ඉසිපතනය යයි කියනු ලැබේ.
ආමන්තෙසි = දීපංකර සර්වඥ පාද මූලයෙහිදී කරන ලද ප්රාර්ථනාවෙහි පටන් පාරමිතා පුරමින් අනුපිළිවෙළින් පැමිණ අවසාන භවයෙහිදී කරන ලද අබිනික්මන් ඇත්තාහු අනු පිළිවෙළින් බෝ මැඩට පැමිණ එහි අපරාජිත පර්යංකය මත හුන් සේක් මාර බල බිඳ ප්රථම යාමයෙහි පෙර විසු කඳ පිළිවෙළ සිහිකොට මධ්යම යාමයෙහි දිවැස් පිරිසිදු කොට, පශ්චිම යාමයේ අවසානයෙහි දස දහසක් ලෝක ධාතුව මහත් සේ නාද කරවමින් සර්වඥභාවයට පැමිණ සති සතක් බෝ මැඩ අසල කල් යවා දහම් දෙසීම සඳහා මහා බ්රහ්මයා විසින් ආරාධනා කරන ලද සේක් බුදු ඇසින් ලොව බලා ලෝකයට අනුග්රහ කිරීමේ අදහසින් බරණැසට ගොස් පස්වග තවුසන් දැනුවත් කරවා දම්සක් පවත්වනු කැමැත්තාහු (ඒ තවුසන් හට) ආමන්ත්රණය කළහ.
ද්වෙමෙ භික්ඛවෙ අන්තා = “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී” මේ කියමන ප්රකාශ කිරීම සමග ම එම ප්රකාශයේ මහ හඬ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියේය. එවිටම අටළොස් කෙළක් බ්රහ්මයෝ පැමිණියහ. අවර දිගින් හිරු බැස යයි පෙර දිගින් ආසාළ්හ නැකතින් යුතුව පුන්සඳ නැග එයි. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ දම්සක් පැවතුම් සුතුර අරඹන්නාහු “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා (මහණෙනි, මේ අන්ත දෙකක් පවතී)” යන ආදිය වදාළහ.
එහි පබ්බජිතෙන = ගිහි සංයෝජන බිඳ පැවිදි බිමට පැමිණි තැනැත්තා විසින් න සෙවිතබ්බා = භාවිත නො කළ යුතු යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො = වස්තු කාමයන්හි ක්ලේශ කාමයෙන් යුතුව කාමසුඛයෙහි යෙදීම නම් වූ මෙය හීනො = ලාමක වූ ගම්මො = ගම්වැසියන් හට අයත් පොථුජ්ජනිකො = මෝඩ, නුවණ අඩු මිනිසුන් විසින් පුරුදු කරන ලද්දාවූ අනරියො = පිරිසිදු නොවූ, උතුම් නොවූ, උතුමන් හට අයත් නොවූ අනත්ථ සංහිතො = යහපත සඳහා නොයෙදුණා වූ යන අරුත වේ. අත්තකිලමථානු යොගො = තමාට පීඩාව ඇති කිරිම සඳහා යෙදුනාවූ තමාගේ දුක සඳහා හේතු වන යන අර්ථයයි. දුක්ඛො = කටු උල් යෙදු ලෑලි මත නිදා ගැනීම් ආදියෙන් සිදු වන්නාවූ ද, මරණ ආදියෙන් සිදු වන්නාවූ ද (ශරීරයට) දුක් ගෙන දීම්.
ප්රඥාව නමැති ඇස ඇති කරයි යන අදහසින් චක්ඛුකරණී යයි කියනු ලැබේ. දෙවන පාදය එයටම වෙනත් වචනයකි. උපසමාය = කෙලෙස් සන්සිඳීම පිණිස අභිඤ්ඤාය = සත්ය සතර පිළිබඳ මනා දැන ගැනීම පිණිස සම්බොධාය = ඒ සත්යයන් සතරේම මනා අවබෝධය පිණිස නිබ්බාණාය = නිර්වාණය ප්රත්යක්ෂ කර ගැනීම සඳහා සෙසු යමක් මෙහි කිව යුතු වන්නේ ද එය යට ඒ ඒ තැන්හි කියන ලද්දේමය. (චතුරාර්ය) සත්ය කථාවන් ද හැම අයුරින් ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.