1. සමාධි වර්ගය
1. සමාධි සූත්ර වර්ණනාව
සච්ච සංයුත්තයේ පළමු වැන්නෙහි - සමාධිං භික්ඛවෙ = ඒ භික්ෂූහු සිතේ එකඟතාවය කෙරෙන් පිරිහෙත් එකල්හි ශාස්තෲන් වහන්සේ මේ භික්ෂූහු මෙසේ (පිළිපදිත හොත්) සිතේ එකඟ බව ලැබ කමටහන් වඩා උතුම් නිවනට පැමිණෙන්නාහුයයි (දැන) ඒ භික්ෂූන් හට මෙම දේශනාව දෙසීම ආරම්භ කළහ. තස්මා තිහ භික්ඛවෙ ඉදං දුක්ඛන්ති යොගො කරණීයො = මෙහිදී තත්වූ පරිද්දෙන් කරුණු වෙන්කර පෙන්වීම (පිළිබඳව) දත යුතුය. මෙසේ ද කියන ලද්දේ වෙයි - “මහණෙනි, යම්සේ සන්සුන් වූ සිත් ඇති භික්ෂුව ආර්ය සත්යයන් සතර තැන් වූ පරිදි දිනියිද, එසේ සන්සුන් වූ සිත් ඇති ඔබ විසින් ද චතුරාර්ය සත්යයන් තත් වූ පරිදි දැනගනු පිණිස මෙය දුකය යනුවෙන් භාවනාවෙහි යෙදීම කළ යුතුය. යම් හෙයකින් චතුස් සත්යයන් (පිළිබඳ දැනුම) තථාගතයන් වහන්සේ හටම පහළ වූයෙන් උන්වහන්සේට ම එය ප්රකට වේද, යම්සේ තථාගතයන් වහන්සේ විසින් මනාව බෙදා දක්වන ලද්දේ ද, යම් සේ (ඒ පිළිබඳව) අප්රමාණ වූ වර්ණනාවන් කරන ලද්දේද, අප්රමාණ වූ පදවලින් විස්තර කරන ලද්දේද, යම් හෙයකින් ඒ චතුස්සත්යයන් අවබෝධ නො කළ බැවින් සසර වර්ධනය වෙයිද, එය අවබෝධ කරගත් කල පටන් සසර වර්ධනය නොවෙයිද, එහෙයින් මෙසේ අපගේ සසර නො වැඩෙන්නේ යයි (දැන) ඔබ විසින් මෙය දුකයයි භාවනා කළ යුතුය”
2. පටිසල්ලාන සූත්ර වර්ණනාව
දෙවැන්න කායික විවේකය අඩු අයට කායික විවේකය ලබා ගැනීම සඳහා කියන ලදී.
3-5. කුලපුත්ත ආදි සූත්ර වර්ණනා
තුන් වැන්නෙහි - අභිසමයාය = අවබෝධය පිණිස. සමණාවා බ්රාහ්මණාවා = මෙහිදී ධර්මයෙහි හැසිරෙන්නෝ අදහස් කරනු ලැබෙති. සතර වැන්නෙහි ද පස් වැන්නෙහි ද එසේමය. ඒ ඒ කියමනෙන් අවබෝධ කර ගන්නවුන්ගේ අදහසින් මේවා කියන ලදී.
6. දුතියසමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - අභිසම්බුද්ධං පකාසෙසු “මම අභිසම්බුද්ධ වෙමි”යි මෙසේ තමන් වහන්සේ “අභිසම්බුද්ධ” යයි ප්රකාශ කළහ. මේ සූත්රයෙහි දී සර්වඥ බුදුන් වහන්සේලා ද ශ්රමණ ගණයා ලෙස ගන්නා ලදහ.
10. තිරච්ඡානකථා සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - අනෙක විහිතං = නානාවිධ වූ තිරච්ඡාන කථං = සසරින් නිදහස් නොවීමට හේතුවන කථාව ස්වර්ග මෝක්ෂ මාර්ගයන් වෙනුවට තිරිසන් මාර්ග කථාව. රාජ කථං යන ආදියෙහි මහා සම්මත, මන්ධාතු, ධම්මාසෝක යන රජුන් අරභයා මහානුභාව ඇතැයි යන ආදී පිළිවෙලින් පැවති කථාව “රාජ කථා” නම් වේ. චොර කථා ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ඒ අතරෙහි අසවල් රජ තෙමේ රූප සම්පන්නය. දැක්මට ප්රියය යන ආදී පිළිවෙළින් කෙරෙන ලෞකික කථාවම තිරච්ඡාන කථා නම් වෙයි. මෙවන් මහානුභාව සම්පන්න හේ තෙමේ පවා දුබල වී නැති වී ගියේය යනුවෙන් පවත්නා කථාව කමටහන් බවෙහි පිහිටයි. සොරුන් අතරෙහිද මූලිකයා මෙසේ මහානුභාව ඇත්තෙකි. ඔවුන්ගේ කර්මය හේතු කොට ගෙන මෙසේ වූහයි යන ලෞකික කථාවම තිරච්ඡාන (තිරිසන්) කථා නම් වෙයි. යුද්ධ ආදියෙහි දී අසවලා විසින් අසවලා මෙසේ මරා දමන ලද්දේය. මෙසේ විදින ලද්දේය යනාදී කථාද කාමාස්වාද වශයෙන් කෙරෙන කථා තිරිසන් කථා නම් වෙයි. ඔව්හු ද අභාවයට පත්වූහ යනුවෙන් පවත්නා කථා හැම තැන්හිම කමටහනක් ම වෙයි. තව ද අන්න (ආහාර) ආදියෙහිදී මෙසේ වර්ණවත්, සුවඳවත්, රස පහස යුත් අහරක් කෑවෙමු, අනුභව කෙළෙමු, පීවෙමු යයි කාමාස්වාද වශයෙන් කීමට සුදුසු නොවේ. අතීතයෙහි මෙසේ වර්ණ ආදියෙන් යුක්ත වූ ආහාරපාන, වස්ත්ර, යාන, සයන, මල්දම්, සුවඳ විලවුන් සිල්වතුන්හට දුන්නෙමු, චෛත්යයන් වෙත පූජා කෙළෙමු, යයි යහපත් අරුත් ඇති කොට ඒවා සත්ය නම්, එසේ කීම සුදුසුය.
ඤාති කථා = අපගේ නෑයෝ සූරය, දක්ෂය යනුවෙන් හෝ, පෙර අපි මෙසේ විසිතුරු යානාවලින් චාරිකා කෙළෙමු යයි කියා හෝ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. අපගේ එම නෑයෝ පවා වැනසී ගියාහුයයි කියා හෝ පෙර අපි මෙවැනි යානාවන් සංඝයාට දුන්නෙමු යයි හෝ යහපත් අරුත් ඇති කොට කිවයුතු වේ. ගාම කථා = මේ ආදියෙහිදී අසවල් ගමෙහි වැසියෝ යහපත් ලෙස වෙසෙති, අයහපත් ලෙස වෙසෙති, ඔව්හු සුභික්ෂයහ, දුර්භික්ෂයහ යන ආදී වශයෙන් හෝ අසවල් ගමෙහි වැසියෝ සූරයෝය, දක්ෂයෝය යනුවෙන් මෙසේ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. ඔව්හු ශ්රද්ධාවන්තයෝය, පැහැදී සිටින්නාහුය යනුවෙන් හෝ ක්ෂය වීමට විනාශයට පත්වූහ යනුවෙන් හෝ එය සත්ය නම් කීම සුදුසුය. නිගම නගර ජනපද කථාවන්හිද මේ පිළිවෙළම වේ.