9. අසුභ සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - වෙසාලියං = මෙම නම ඇති ස්ත්‍රී ලිංගික නාමයක් වශයෙන් ව්‍යවහාරයට පැමිණි නගරයෙහි. ඒ නගරය වනාහී තුන්වරක්ම ප්‍රාකාර වළල්ල වර්ධනය කිරීමෙන් විශාල වී ඇති බැවින් “වේසාලි” යයි කියනු ලැබේ. මේ නගරයද සම්මා සම්බුදු රජාණන් වහන්සේ සර්වඥභාවයට පැමිණි කල්හිම සියලු අයුරින් විශාලත්වයට පැමිණියේ යයි දත යුතුය. මෙසේ ගොදුරු ගම පෙන්වා වාසය කරන ස්ථානය (මේ අයුරින්) කීය. මහාවනෙ කූටාගාර සාලායං = එහි “වනය” නම් ඉබේ හට ගත්තාවූ, (අන් අය විසින්) රෝපණය නොකරන ලද්දාවූ, වෙන් වී ඇති මහ වනයයි. කපිලවස්තු පුරය අසලින් මහවනය හිමවත සමග ඒකාබද්ධ කොටසක් බවට පත් වී (පසෙකින්) මහ සමුදුර දක්වා සීමා වී පැවතියේය. මෙය එවැන්නක් නොවේ. වෙන්ව පිහිටියාවූ විශාල වූ වනය යන අදහසින් “මහාවන” යයි යෙදේ. “කූටාගාරසාලා” යනු මහවනය ඇසුරු කොට කරන ලද ආරාමයෙහි කූටාගාරය (මුදුනක් සහිත ගෙය) පියස්සෙන් යුතුව කරන ලද, සර්ව ප්‍රකාරයෙන් සම්පූර්ණ වූ, භාග්‍යවත් බුදුන් වහන්සේ ගේ ගන්ධ කුටිය යයි දත යුත්තේය.
අනෙක පරියායෙන අසුභ තථං කථෙති = බොහෝ කරුණුවලින් අසුභ වූ ආකාරයන් දක්වමින් පැවති ශරීරය අවසන් කළ යුතුය යන කථාව කියයි. කෙසේද යත්: කයෙහි කෙස්, ලොම්, නිය, දත් -පෙ- මුත්‍ර යන මේවා ඇතැයි කියයි. කුමක් කියන ලද්දේ වේද? මහණෙනි, බඹයක් පමණ වූ මේ ශරීරයෙහි මහත් ආදරයකින් සොයා බලන්නේ නමුදු කිසිවෙක් හෝ කිසියම් මුතු හෝ මැණික් හෝ වෛරෝඩි හෝ අගිල් හෝ සඳුන් හෝ කොකුම් හෝ කපුරු හෝ සුවඳ කුඩු හෝ ස්වල්පවූ පිරිසිදු දෙයක් හෝ නො දකිති. එහෙත් ඉතා දුගඳ වූ පිළිකුල් වූ දැකීමට අප්‍රියවූ කෙසේ, නිය, ලොම් ආදී විවිධ අපිරිසිදු දෙයම දකිති. එබැවින් මෙහි කැමැත්තක් හෝ ඇලීමක් හෝ නොකළ යුතුය. හිස් මුදුනෙහි උපන් “කෙස්” නම් වූ යමක් වේද ඒවාද අසුබ අපිරිසිදු පිළිකුල් සහිතම වේ. ඒවායේ එම අසුබ, අපිරිසිදු, පිළිකුල් බව වර්ණයෙන් ද, සලකුණින් ද, ගඳින් ද, පිහිටීමෙන් ද, අවකාශයෙන් ද යන පස් ආකාරයෙන් දත යුතුය. මෙසේ “ලොම්” ආදිය පිළිබඳව ද සංක්ෂේප හැඳින්වීම මෙසේ වේ. විස්තරය වනාහී විශුද්ධි මාර්ගයෙහි කියන ලද පිළිවෙළින්ම දත යුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එක් එක් කොට්ඨාශයෙහි පහ පහ බැගින් වූ විවිධ ආකාරයෙන් අසුබය පිළිබඳ කථාව කියන සේක.
අසුභාය වණ්ණාජ භාසති = ඉදිමුම් ආදී වශයෙන් අසුභ වූ මළසිරුර අත්හැර දමා පද බෙදිය යුතු තැන්හිදී ඒ ඒ (පද) බෙදමින් විස්තර කරමින් අසුබයෙහි වර්ණනාව කරයි. අසුභ භාවනාය වණ්ණං භාසති = කෙස් ආදියෙහි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ ආධ්‍යාත්මික බාහිර වස්තූන්හි අසුබවූ ආකාරය ගෙන පවතින්නාවූ සිතේ භාවනා කර්මය වැඩෙන්නේය. ඔහුට අසුභ භාවනාවෙහි ආනිසංසය දක්වමින් වර්ණනා කරයි, ගුණය විස්තර කරයි. කෙසේද යත්:- මහණෙනි, අසුභ භාවනාවෙහි නියුතු වූ භික්ෂුව කෙස් ආදී වස්තූන්හි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ පංචාංග රහිත වූ ද, පංචාංග සහිත වූ ද, තුන් ආකාරයකින් යහපත් වූ ද, දසවිධ ලක්ෂණයෙන් යුක්තවූ ද ප්‍රථම ධ්‍යානය උපදවා ගනියි. හේ තෙමේ ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත වූ එම චිත්ත මංජුසාව හේතුකොට ගෙන විදර්ශනා වඩා උතුම් වූ රහත් බවට පැමිණෙන්නේය.
ඉච්ඡාමහං භික්‍ඛවෙ අඩ්ඪමාසං පටිසල්ලීයිතුං = මහණෙනි, මම එක් අඩමසක් විවේකයෙන් විසීමට, වෙන්ව විසීමට, හුදෙකලා වී විසීමට කැමැත්තෙමි යන අර්ථයයි. නම්හිකෙනච් උපසඞ්කමිතබ්බො අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාත නීහාරකෙන = යමකු තමා ඉටු කිරීමට බැඳී සිටින පොරොන්දුව ඉටු නොකොට මා සඳහා සැදැහැවත් කුලයන්හි පිළියෙළ කරන ලද පිණ්ඩපාතය ගෙනැවිත් මා හට ලබා දෙන්නේ ද, පිණ්ඩපාතය ගෙන එන එම එකම භික්ෂුව හැර වෙනත් අන් කිසි භික්ෂුවක් හෝ ගිහියකු හෝ නොපැමිණිය යුතුය.
කුමක් නිසා මෙසේ වදාළෝද යත් - පෙර කලෙක පන්සියයක් මුව වැද්දෝ දඩු හා දැල් ආදියෙන් වනය වට කොට තුටු පහටු වී එක තැනක සිට දිවි ඇති තෙක් මුවන් හා පක්‍ෂීන් ඝාතනය කිරීමෙන් ජීවිකාව සිදුකොට නිරයෙහි උපන්හ. ඔව්හු එම නිරයෙහි පැසී පෙර කරන ලද කිසියම් වූ කුශල කර්මයකින් මිනිස් ලොව උපන්හ. යහපත් ඇසුරක් හේතු කොට ගෙන ඒ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ද, උපසම්පදාව ද ලැබූහ. ඔවුන්ගේ එම මුල් අකුසල කර්මයෙන් විපාක නොදී ඉතිරිවූ, භවයෙන් භවය පැමිණි කර්ම චේතනාවන් එම අඩ මස ඇතුළත තමන්ගේම ක්‍රියාවන් මගින් ද, අනුන්ගේ ක්‍රියාවන් මගින් ද ජීවිත වැනසී යාමට අවස්ථා ඇති වී තිබේ. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. කර්ම විපාකය නම් කිසිවකු විසින් හෝ වැළැක්වීමට නොහැක්කේය. ඒ භික්ෂූන් අතරෙහි වූ කලී පෘථග්ජනයෝ ද, සෝවාන් සකෘදාගාමී, අනාගාමි අර්හත් යන ඵල ලාභීහු ද වෙති. එහි ක්ෂීණාශ්‍රවයෝ පිළි සිඳීම් රහිත වෙති. ඉතිරි ආර්ය ශ්‍රාවකයෝ නැවත උපදින තැන නියත වී ඇත්තාහුය. පුහුදුන් අයගේ උත්පත්ති භවයන් නියත නැත.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. කෙසේද යත්, “මොව්හු මේ ආත්ම භාවයෙහි ආශාව නිසා මරණ බියෙන් බියපත් වූවාහු මතු භවයට යන ගමන පිරිසිදු කර ගැනීමට නො හැකිවන්නාහුය. එබැවින් ඔවුන් හට භව ආශාව ප්‍රහීන වනු පිණිස අසුබ බව පිළිබඳ කථාව කියමි. එය අසා ආත්ම භාවයෙහි ආශාව පහවීමෙන් භව ගමන පිරිසිදු කොට ස්වර්ගයෙහි පිළිසිඳ ගන්නාහුය. මෙසේ ඔවූන්හට මා වෙත පැවිදි වීම අර්ථවත් වන්නේය.” යනුයි. ඉක්බිති ඔවුන් හට අනුග්‍රහ පිණිස අසුබ බව පිළිබඳ කථාව වදාළහ. එයද කමටහන් පිළිබඳ අරමුණින් මිස මරණය පිළිබඳව වර්ණනා කිරීමේ අදහසින් නොවේ. දේශනා කිරීමෙන් පසු උන්වහන්සේට මෙසේ අදහස් විය. කෙසේද යත් : “ඉදින් අඩ මසකදී භික්ෂූහු මා දකිත් ද, (අතර කාලයෙහිදී) පැමිණ අද එක් භික්ෂු නමක් මිය ගියේය. අද දෙනමක් ද -පෙ- අද දස නමක්ද මිය ගියහ ආදී වශයෙන් දැනුම් දෙති. මා විසින් හෝ අන් අයකු විසින් හෝ මෙම කර්ම විපාකය වැළැක්විය නොහැක්කේය. මම එය අසා වුවද කුමක් කරන්නෙම් ද? අනර්ථකාරී වූ ව්‍යසනයක් ශ්‍රවණය කිරීමෙන් කුමක් සිදුවේද? ඒ නිසා මම භික්ෂූන්හට නො පෙනෙන තැනක් වෙත යා යුතු වෙමි” යනුයි. එබැවින් මෙසේ වදාළහ. “මහණෙනි. මම අඩමසක් විවේකීව විසීමට කැමැත්තෙමි, පිණ්ඩපාතය ගෙන එන්නාවූ එක් අයකු හැර වෙනත් කිසිවකු පැමිණිය යුතු නොවේ.”