10. කිම්බිල සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - කිම්බිලායං = මේ නම ඇති නගරයෙහි. එතදවොච = මේ දේශනාව ගැළපීමක් සහිතව නො කරන ලද්දේයයි තෙරණුවෝ සිතූහ. පිළිවෙළට ගැලපීමක් ඇති කරන්නෙමියි සිතා දේශනා අනු පිළිවෙළ ගැළපීමක් ඇති කීහ. කායඤ්ඤතරං “පඨවිකාය (පෘථුවිධාතුමය ශරීරය) ආදී කායයන්හි එක්තරා කයක් පිළිබඳව කියමි, වායො කාය (වායො ධාතුමය ශරීරය) පිළිබඳව කියමි” යන අදහසයි. තවද ඇස නමැති ආයතනය -පෙ- පිඬු සහිත ආහාර යන පස්විසි රූප කොටස් “රූපකාය” නම් වේ. ඒවා අතරෙහි ආනාපානය ස්පර්ශායතනයෙහි සංගෘහිතව ඇති බැවින් “කායඤ්ඤතර” (එක්තරා ශරීරයක් හෙවත් ශරීරයට අයත් එක්තරා කොටසක්) නම් වෙයි. ඒ හේතුවෙන් ද මෙසේ කීය. තස්මාතිහ = යම් හෙයකින් සිවු වැදෑරුම් කාර්යයන්හි එකක් වන වායු කායය කොටස් විසි පහ තුළ හෝ, රූපකායයෙහි එක්තරා කොටසක් වන ආනාපානය විමසා බලයි ද, එහෙයින් කායෙ කායානු පස්සී (ශරීරයෙහි ශරීරය අනුව බලමින්) යන අදහස (ලැබෙ) යි. සියලු තැන්හිම අර්ථය මෙසේ යයි දත යුතුය. වෙදනාඤ්ඤතරං = වේදනාවන් තුනෙහි එක්තරා එකක් වන සුඛවේදනාව සඳහා මෙය කියන ලදී.
සාධුකං මනසිකාරං = පීතිපටිසංවෙදී භාවය ආදී වශයෙන් උපන් සොඳුරු සිහි කිරීමයි. මනසිකාරය (මෙනෙහි කිරීම) සුඛ වින්දනයක් වේද? නොවේමය. මෙය වනාහී දේශනා මාතෘකාවක් පමණි. යම් සේ වනාහී අනිත්ය සංඥා භාවනාවෙහි යෙදුණේය යන මෙහි සංඥා නාමයෙන් සංඥාවේ කියන ලද්දේද? මෙසේ මෙහි ද මනසිකාර නාමයෙන් ධ්යාන වින්දනය කියන ලද්දේයයි දත යුතුය. මේ සතරෙහි පළමු පදයෙහි ප්රීති යන මාතෘකාවෙන් වේදනාව කියන ලදී. දෙවන පදයෙහි සුවය යයි ස්වරූපයෙන්ම කියන ලදී. චිත්ත සංඛාර පද දෙකෙහි සංඥාව ද, වේදනාවද යන මේ චෛතසික ධර්ම සිත තුළින්ම ලබන ලදී. චිත්ත සංඛාරය යන වචනයෙන් විතර්ක විචාර (දෙක) හැර, සිත මුල් කරගත් සියළුම ධර්ම සංගෘහිත වේ. එම වචනයෙන් වේදනාව කියන ලදී. ඒ සියල්ල මනසිකාර යන නමින් සංගෘහිත කොට මෙහි සාධුකං මනසිකාරං (මනාලෙස මෙනෙහි කිරීම) යයි කීය.
මෙසේ ඇති කල්හි දු යම් හෙයිකින් මේ වේදනාව අරමුණක් නොවන්නේ ද, එහෙයින් වේදනා අනුපස්සනාව නොයෙදෙන්නේ වෙයි. මහා සතිපට්ඨාන ආදියෙහිද ඒ ඒ සුඛය ආදී වස්තූන් අරමුණු කොට වේදනාව විඳිනු ලැබේ. එම වේදනා පැවැත්ම දැඩිසේ අල්වාගෙන මම විඳ ගනිමියි යන කීම ව්යවහාර මාත්රයක් පමණක් වේ. ඒ සඳහා සුඛ වෙදනං වෙදිය මානො සුඛං වෙදනං වෙදියාමි. සුඛ (වින්දනයක් විඳිමින්, සුඛ වින්දනයක් විඳිමිය) යන ආදිය කියන ලදී. තව ද “පීති පටිසංවෙදී” (ප්රීතිය විඳගන්නා තැනැත්තා) යන ආදියේ අර්ථ වර්ණනා මෙහිදී ආරක්ෂාවරණයක් ලෙස කියන ලද්දේ වෙයි. මෙය විශුද්ධි මාර්ගයෙහි දෙ ආකාරයකින් කියන ලදි.
පීති පටිසංවේදී බව අරමුණු වශයෙන් ද, මුළා නොවීම් වශයෙන් ද යන දෙ අයුරකින් සිදු වේ. ප්රීති පටිසංවේදී බව අරමුණු වශයෙන් කෙසේ සිදු වේද යත් :- ප්රීති සහිත වූ ධ්යාන දෙකට සමවදින කල්හි ඒ සමාපත්ති ක්ෂණයෙහිදීම ධ්යාන ප්රතිලාභයෙන් ආරම්මණ වශයෙන් අරමුණු විඳ ගැනීම නිසා ප්රීති පටිසංවේදී බව ඇති වේ. මුළාවට පත් නොවීමෙන් කෙසේ ප්රීති පටිසංවේදී බව සිදු වේද යත් :- ප්රීති සහිතවූ ධ්යාන දෙකට සමවැදී, ඉන් නැඟී ධ්යානය හා යෙදුණ ප්රීතිය ක්ෂය වේ. අඩු වේ. ඒ හේතුවෙන් එය විමසා බලන කල්හි ඔහුගේ විදර්ශනා ක්ෂණයෙහි දී (එහි) ලක්ෂණ අවබෝධ වීමෙන් අසම්මොහය හෙවත් මුළාවෙන් තොර වීම සිදු වේ. පටිසම්භිදාවෙහිද, මෙය කියන ලද්දේය. දීර්ඝ ලෙස ආශ්වාස කිරීම් වශයෙන් සිතේ ඒකාග්රතාවය කැළඹීමට පත් නොවුන බව දැන ගැනීමෙන් සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන්, ඒ නුවණින් එම ප්රීතිය විඳගන්නා ලද්දේ වෙයි. මේ පිළිවෙළින් ම අනික් පදයන් ද අර්ථවශයෙන් දැනගත යුත්තේය.
මෙසේ මේ අයුරකින් ධ්යාන ලබා ගැනීමෙන් අරමුණු වශයෙන් ප්රීති, සුඛ, චිත්ත යන සංස්කාරයන් විඳගන්නා ලද්දේ වෙයි. මෙසේ ධ්යානයන් හා එක්ව යෙදුන වේදනා සංඛ්යාත මෙනෙහි කිරීම්වල ප්රතිලාභවූ අරමුණුවලින් වේදනාව විඳගන්නා ලද්දේ වෙයි. එහෙයින් වෙදනාසු වෙදනානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති (එසමයෙහි භික්ෂුව වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නාවූ අයෙක් වී වාසය කළේය) යනුවෙන් මනාව කියන ලද්දේ විය.
නාහං ආනන්ද මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස මෙහි අදහස මෙසේය. යම් හෙයකින් “චිත්ත පටිසංවෙදී අස්ස සිස්සාමි” (සිත මනාව පිහිටුවා ගනිමින් ආශ්වාස කරන්නෙමියි) යන ආදි පිළිවෙළින් සිහිය පවත්වන භික්ෂුව ආශ්වාස ප්රශ්වාස නිමිත්ත අරමුණු කර ගනියි ද, ඔහුගේ සිත පිළිබඳ අරමුණෙහි සිහිය ද, මනා සිහි කල්පනාව ද පිහිටුවා පවතිනුයේත් වෙයි ද, මෙය “චිත්තෙ චිත්තානුපස්සී” (සිතෙහි, සිත අනුව මෙනෙහි කිරීම) නම් වෙයි. මුළා වූ සිහි ඇති. සිහි කල්පනාව අඩු තැනැත්තා හට ආනාපානසති භාවනාව නො පිහිටයි. එහෙයින් අරමුණු වශයෙන් සිත පිළිබඳව අවබෝධ කරගෙන සිතේ පැවැත්ම අනුව මෙනෙහි කර භාවනා කරන භික්ෂුව එහි වාසය කරයි. (හෙවත් ආනාපානසති භාවනාවෙහි යෙදෙයි)
සො යන්තං හොති අභිජ්ඣා දොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. මෙහිදී දැඩි ලෝභය කාමච්ඡන්ද නීවරණයම වෙයි. දොමනස්ස වශයෙන් ව්යාපාද නීවරණය දක්වන ලදී. මේ සතර විදර්ශනා වශයෙන් කියන ලදී. ධම්මානුපස්සනාව ද නීවරණ කොටස් වශයෙන් පස් වැදෑරුම් වේ. එහිදීද මේ නීවරණ දෙක මුල් වේ. මෙසේ ධම්මානුපස්සනාවෙහි මුල දක්වනු පිණිස අභිජ්ඣා දොමනස්සානං යයි කීය. පහාණං = අනිච්චානුපස්සනාවෙන් (අනිත්යය අනුව නුවණින් සලකා බැලීමෙන්) නිත්යය යන සංඥාව දුරු කෙරේයයි යනුවෙන් මෙසේ පහාණක ඤාණය (අත්හැරීම පිළිබඳ නුවණ) අදහස් කරන ලදී. තං පඤ්ඤාය දිස්වා = තං (හෙවත් එය) නම් අනිත්ය භාවයයි. විරාගය, නිරෝධය, අත්හැරීම පිළිබඳ නුවණය ආදී වශයෙන් කියන ලද්දේ පහාණ ඤාණය (හෙවත් අත්හර දැමීම පිළිබඳ නුවණ) යි. අපරාය (අනිකක් සඳහා) යනුවෙන් “විදර්ශනා ප්රඥාව සඳහා” යන්න අදහස් වේ. “ත” යන්න ද “අපරාය” යන්න සඳහාම යෙදේ. මෙසේ විදර්ශනා පිළිවෙළ දැක්වේ. අජ්ඣුපෙක්ඛිතා හොති (මධ්යස්ථ වෙයි) යනු යමක් සමථයට එළඹියේ ද (එය) මධ්යස්ථ වෙයි. යමක් එකඟ බවට එළඹියේ නම් (එය ද) මධ්යස්ථ වෙයි. දෙ අයුරින් මධ්යස්ථ නම් වෙයි. එහි එකට උපන්නේ මධ්යස්ථ වෙයි. අරමුණේ මධ්යස්ථ බවක් වෙයි. මෙහිදී අරමුණේ මධ්යස්ථ බව අදහස් කරන ලදී. තස්මාතිහානන්ද යම් හෙයකින් අනිත්යය අනුව නුවණින් මෙනෙහි කරමින් ආශ්වාස කරමියි යන ආදී පිළිවෙළින් පිළිවෙත් පවත්වන භික්ෂුව හුදෙක් දැඩි ලෝභය මුල් කරගත් නීවරණ ආදී ධර්මයන් ප්රහාණය කිරීමේ නුවණ ද ප්රඥාවෙන් දැක මධ්යස්ථ වන්නේ වේද, ඒ හේතුවෙන් ධර්මය අනුව නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව එම මධ්යස්ථ භාවය තුළ වාසය කරන්නේ යයි දත යුතුවේ.
එවමෙව ඛො = මෙහිදී සතර මහා මාර්ගයන් මෙන් ආයතන සය දැකිය යුත්තේය. එහි පස් පිඬු මෙන් ආයතන සයෙහි කෙලෙස් දැකිය යුතුය. සිවු දිගින් එන ගැල්මෙන් අරමුණු සතරෙක්හි පැවති සතර සතිපට්ඨානයන් දැකිය යුතුය. කායානුපස්සනා (කය අනුව නුවණින් මෙනෙහි කිරීම) ආදියෙන් පාපී අකුසල ධර්මයන් නැසීම එක් රිය සකකින් හෝ පස් පිඬුවක් වැනසී යාම මෙන් දත යුතුය.