1. එකධම්ම වර්ගය
1. එකධම්ම සූත්‍ර වර්ණනාව
ආනාපාන සංයුත්තයේ පළමු වැන්නෙහි - එක ධම්මො = එකම ධර්මයයි. මෙහිදී කිවයුතු සෙසු යමක් වේ නම් ඒ සියල්ල හැම අයුරින්ම විශුද්ධි මාර්ගයෙහි ආනාපාන සති කර්මස්ථාන නිර්දේශයෙහි කියන ලද්දේමය.
6. අරිට්ඨ සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - භාවෙථ නො = වඩන්නහු නොවෙත්ද? කාමච්ඡන්‍දො = පංච කාම ගුණයන්හි ඇලීම අජ්ඣත්තික බහිද්ධාච මෙ ධම්මෙසු = ආධ්‍යාත්මික හා බාහිර වූ දොළොස් වැදෑරුම් ආයතන ධර්මයන්හි පටිඝසඤඤා සුප්පටි විනීතා ක්‍රෝධය හා එක්ව යෙදුණ සංඥාවන් මනාව බැහැර කරන ලදී. සම්පූර්ණයෙන් විනාශ කරන ලදී යන අර්ථයයි. මෙයින් තමාගේ අනාගාමී මාර්ගය කියයි. දැන් අර්හත් මාර්ගයේ විදර්ශනාව දක්වමින් සො සතොව අස්සසිස්සාමි = (හේ තෙමේ “සිහි ඇතිවම ආශ්වාස කරන්නෙමි” යි) යන ආදිය කීය.
7. කප්පින සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - ඉඤ්ජිත්තතං වා එන්‍දිත්තංවා = මේ දෙකෙන්ම චලනය වීම ම කියන ලදී.
8. දීප සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - නෙව මෙ කායොපි කිලමති, න අක්‍ඛීනිපි විභඤ්ඤන්ති = ධාතු කර්මස්ථානයෙහි දී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය ක්ලාන්ත වේ. යන්ත්‍රයෙක බහා මඩිනා ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. කසිණ කමටහනෙහිදී කමටහන වඩන තැනැත්තාගේ ඇස් චලනය වෙයි, වෙහෙසට පත් වෙයි, පිටතට පැමිණ වැටෙන ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. මෙම කමටහනෙහිදී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය වෙහෙසට පත් නොවේ, ඇස් විඩාවට පත් නොවේ. එබැවින් මෙසේ කීය.
සබ්බසො රූප සඤ්ඤානං යන ආදිය කුමක් නිසා කියන ලද්දේ ද? කිම ආනාපානයෙහිදී කසිණය (අරමුණ) ඉවත් කිරීමක් (දක්නට) ලැබේද? යත් ලැබේමය. ත්‍රිපිටක චූලාභය ස්ථවිර තෙමේ වනාහී මෙසේ කීය. යම් හෙයකින් ආනාපානයට නිමිත්ත වූ දෙය තාරකා රූප, මුතු බෝල ආදියට සමාන වී පෙනෙන්නේ ද, ඒ හේතුවෙන් එහිදී කසිණය ඉවත් කිරීමක් දක්නට ලැබෙන්නේය. ත්‍රිපිටක චූළ නාග ස්ථවිර තෙමේ එසේ නොවේයයි කීය. ස්වාමීනි, ආර්ය සෘද්ධි ආදී ප්‍රභේද ඇති මෙය කුමක් හෙයින් ගන්නා ලද්දේද? ආනිසංස දැකීම පිණිසය. ආර්ය වූ ඍද්ධිය හෝ රූපාවචර ධ්‍යානයන් සතර හෝ අරූප සමාපත්ති සතර හෝ නිරෝධ සමාපත්තිය හෝ ප්‍රාර්ථනා කරන්නාවූ භික්ෂුව විසින් මේ ආනාපාන සති සමාධිය මනා කොට මෙනෙහි කළ යුත්තේය. යම් සේ වනාහී නගරයක් ගත් කල්හි එහි සිවු දෙසෙහි හට ගන්නා වූ යම් භාණ්ඩයක් වේද එය දොරටු සතරෙන් නගරයටම පිවිසෙයි. ජනපදයක් ගන්නා ලද්දේ වුව ද එය ද නගරයෙහි ආනිසංසයම වේ. අනාපානසති සමාධි භාවනාවෙහි ආනිසංසය ද එසේමය. මෙය ආර්ය ඍද්ධි ආදී ප්‍රභේද සහිත වන්නේය. හැම අයුරින්ම ආනාපාන සති සමාධිය වැඩු කල්හි මේ සියල්ල යෝගියා හට ලැබෙන්නේය යන ආනිසංසය දැක්වීම පිණිස (මෙය) කියන ලදී. සුඛඤ්ච යන මෙහි සො යනු කුමක් හෙයින් නො කියන ලද්දේ ද යත් - භික්‍ඛු යන්න මෙහිදී ඉදිරිපත් නොවූ බැවින් (නොකියන ලද්දේ) ය.
9. අසුභ සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - වෙසාලියං = මෙම නම ඇති ස්ත්‍රී ලිංගික නාමයක් වශයෙන් ව්‍යවහාරයට පැමිණි නගරයෙහි. ඒ නගරය වනාහී තුන්වරක්ම ප්‍රාකාර වළල්ල වර්ධනය කිරීමෙන් විශාල වී ඇති බැවින් “වේසාලි” යයි කියනු ලැබේ. මේ නගරයද සම්මා සම්බුදු රජාණන් වහන්සේ සර්වඥභාවයට පැමිණි කල්හිම සියලු අයුරින් විශාලත්වයට පැමිණියේ යයි දත යුතුය. මෙසේ ගොදුරු ගම පෙන්වා වාසය කරන ස්ථානය (මේ අයුරින්) කීය. මහාවනෙ කූටාගාර සාලායං = එහි “වනය” නම් ඉබේ හට ගත්තාවූ, (අන් අය විසින්) රෝපණය නොකරන ලද්දාවූ, වෙන් වී ඇති මහ වනයයි. කපිලවස්තු පුරය අසලින් මහවනය හිමවත සමග ඒකාබද්ධ කොටසක් බවට පත් වී (පසෙකින්) මහ සමුදුර දක්වා සීමා වී පැවතියේය. මෙය එවැන්නක් නොවේ. වෙන්ව පිහිටියාවූ විශාල වූ වනය යන අදහසින් “මහාවන” යයි යෙදේ. “කූටාගාරසාලා” යනු මහවනය ඇසුරු කොට කරන ලද ආරාමයෙහි කූටාගාරය (මුදුනක් සහිත ගෙය) පියස්සෙන් යුතුව කරන ලද, සර්ව ප්‍රකාරයෙන් සම්පූර්ණ වූ, භාග්‍යවත් බුදුන් වහන්සේ ගේ ගන්ධ කුටිය යයි දත යුත්තේය.
අනෙක පරියායෙන අසුභ තථං කථෙති = බොහෝ කරුණුවලින් අසුභ වූ ආකාරයන් දක්වමින් පැවති ශරීරය අවසන් කළ යුතුය යන කථාව කියයි. කෙසේද යත්: කයෙහි කෙස්, ලොම්, නිය, දත් -පෙ- මුත්‍ර යන මේවා ඇතැයි කියයි. කුමක් කියන ලද්දේ වේද? මහණෙනි, බඹයක් පමණ වූ මේ ශරීරයෙහි මහත් ආදරයකින් සොයා බලන්නේ නමුදු කිසිවෙක් හෝ කිසියම් මුතු හෝ මැණික් හෝ වෛරෝඩි හෝ අගිල් හෝ සඳුන් හෝ කොකුම් හෝ කපුරු හෝ සුවඳ කුඩු හෝ ස්වල්පවූ පිරිසිදු දෙයක් හෝ නො දකිති. එහෙත් ඉතා දුගඳ වූ පිළිකුල් වූ දැකීමට අප්‍රියවූ කෙසේ, නිය, ලොම් ආදී විවිධ අපිරිසිදු දෙයම දකිති. එබැවින් මෙහි කැමැත්තක් හෝ ඇලීමක් හෝ නොකළ යුතුය. හිස් මුදුනෙහි උපන් “කෙස්” නම් වූ යමක් වේද ඒවාද අසුබ අපිරිසිදු පිළිකුල් සහිතම වේ. ඒවායේ එම අසුබ, අපිරිසිදු, පිළිකුල් බව වර්ණයෙන් ද, සලකුණින් ද, ගඳින් ද, පිහිටීමෙන් ද, අවකාශයෙන් ද යන පස් ආකාරයෙන් දත යුතුය. මෙසේ “ලොම්” ආදිය පිළිබඳව ද සංක්ෂේප හැඳින්වීම මෙසේ වේ. විස්තරය වනාහී විශුද්ධි මාර්ගයෙහි කියන ලද පිළිවෙළින්ම දත යුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එක් එක් කොට්ඨාශයෙහි පහ පහ බැගින් වූ විවිධ ආකාරයෙන් අසුබය පිළිබඳ කථාව කියන සේක.