අසුභාය වණ්ණාජ භාසති = ඉදිමුම් ආදී වශයෙන් අසුභ වූ මළසිරුර අත්හැර දමා පද බෙදිය යුතු තැන්හිදී ඒ ඒ (පද) බෙදමින් විස්තර කරමින් අසුබයෙහි වර්ණනාව කරයි. අසුභ භාවනාය වණ්ණං භාසති = කෙස් ආදියෙහි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ ආධ්‍යාත්මික බාහිර වස්තූන්හි අසුබවූ ආකාරය ගෙන පවතින්නාවූ සිතේ භාවනා කර්මය වැඩෙන්නේය. ඔහුට අසුභ භාවනාවෙහි ආනිසංසය දක්වමින් වර්ණනා කරයි, ගුණය විස්තර කරයි. කෙසේද යත්:- මහණෙනි, අසුභ භාවනාවෙහි නියුතු වූ භික්ෂුව කෙස් ආදී වස්තූන්හි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ පංචාංග රහිත වූ ද, පංචාංග සහිත වූ ද, තුන් ආකාරයකින් යහපත් වූ ද, දසවිධ ලක්ෂණයෙන් යුක්තවූ ද ප්‍රථම ධ්‍යානය උපදවා ගනියි. හේ තෙමේ ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත වූ එම චිත්ත මංජුසාව හේතුකොට ගෙන විදර්ශනා වඩා උතුම් වූ රහත් බවට පැමිණෙන්නේය.
ඉච්ඡාමහං භික්‍ඛවෙ අඩ්ඪමාසං පටිසල්ලීයිතුං = මහණෙනි, මම එක් අඩමසක් විවේකයෙන් විසීමට, වෙන්ව විසීමට, හුදෙකලා වී විසීමට කැමැත්තෙමි යන අර්ථයයි. නම්හිකෙනච් උපසඞ්කමිතබ්බො අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාත නීහාරකෙන = යමකු තමා ඉටු කිරීමට බැඳී සිටින පොරොන්දුව ඉටු නොකොට මා සඳහා සැදැහැවත් කුලයන්හි පිළියෙළ කරන ලද පිණ්ඩපාතය ගෙනැවිත් මා හට ලබා දෙන්නේ ද, පිණ්ඩපාතය ගෙන එන එම එකම භික්ෂුව හැර වෙනත් අන් කිසි භික්ෂුවක් හෝ ගිහියකු හෝ නොපැමිණිය යුතුය.
කුමක් නිසා මෙසේ වදාළෝද යත් - පෙර කලෙක පන්සියයක් මුව වැද්දෝ දඩු හා දැල් ආදියෙන් වනය වට කොට තුටු පහටු වී එක තැනක සිට දිවි ඇති තෙක් මුවන් හා පක්‍ෂීන් ඝාතනය කිරීමෙන් ජීවිකාව සිදුකොට නිරයෙහි උපන්හ. ඔව්හු එම නිරයෙහි පැසී පෙර කරන ලද කිසියම් වූ කුශල කර්මයකින් මිනිස් ලොව උපන්හ. යහපත් ඇසුරක් හේතු කොට ගෙන ඒ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ද, උපසම්පදාව ද ලැබූහ. ඔවුන්ගේ එම මුල් අකුසල කර්මයෙන් විපාක නොදී ඉතිරිවූ, භවයෙන් භවය පැමිණි කර්ම චේතනාවන් එම අඩ මස ඇතුළත තමන්ගේම ක්‍රියාවන් මගින් ද, අනුන්ගේ ක්‍රියාවන් මගින් ද ජීවිත වැනසී යාමට අවස්ථා ඇති වී තිබේ. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. කර්ම විපාකය නම් කිසිවකු විසින් හෝ වැළැක්වීමට නොහැක්කේය. ඒ භික්ෂූන් අතරෙහි වූ කලී පෘථග්ජනයෝ ද, සෝවාන් සකෘදාගාමී, අනාගාමි අර්හත් යන ඵල ලාභීහු ද වෙති. එහි ක්ෂීණාශ්‍රවයෝ පිළි සිඳීම් රහිත වෙති. ඉතිරි ආර්ය ශ්‍රාවකයෝ නැවත උපදින තැන නියත වී ඇත්තාහුය. පුහුදුන් අයගේ උත්පත්ති භවයන් නියත නැත.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. කෙසේද යත්, “මොව්හු මේ ආත්ම භාවයෙහි ආශාව නිසා මරණ බියෙන් බියපත් වූවාහු මතු භවයට යන ගමන පිරිසිදු කර ගැනීමට නො හැකිවන්නාහුය. එබැවින් ඔවුන් හට භව ආශාව ප්‍රහීන වනු පිණිස අසුබ බව පිළිබඳ කථාව කියමි. එය අසා ආත්ම භාවයෙහි ආශාව පහවීමෙන් භව ගමන පිරිසිදු කොට ස්වර්ගයෙහි පිළිසිඳ ගන්නාහුය. මෙසේ ඔවූන්හට මා වෙත පැවිදි වීම අර්ථවත් වන්නේය.” යනුයි. ඉක්බිති ඔවුන් හට අනුග්‍රහ පිණිස අසුබ බව පිළිබඳ කථාව වදාළහ. එයද කමටහන් පිළිබඳ අරමුණින් මිස මරණය පිළිබඳව වර්ණනා කිරීමේ අදහසින් නොවේ. දේශනා කිරීමෙන් පසු උන්වහන්සේට මෙසේ අදහස් විය. කෙසේද යත් : “ඉදින් අඩ මසකදී භික්ෂූහු මා දකිත් ද, (අතර කාලයෙහිදී) පැමිණ අද එක් භික්ෂු නමක් මිය ගියේය. අද දෙනමක් ද -පෙ- අද දස නමක්ද මිය ගියහ ආදී වශයෙන් දැනුම් දෙති. මා විසින් හෝ අන් අයකු විසින් හෝ මෙම කර්ම විපාකය වැළැක්විය නොහැක්කේය. මම එය අසා වුවද කුමක් කරන්නෙම් ද? අනර්ථකාරී වූ ව්‍යසනයක් ශ්‍රවණය කිරීමෙන් කුමක් සිදුවේද? ඒ නිසා මම භික්ෂූන්හට නො පෙනෙන තැනක් වෙත යා යුතු වෙමි” යනුයි. එබැවින් මෙසේ වදාළහ. “මහණෙනි. මම අඩමසක් විවේකීව විසීමට කැමැත්තෙමි, පිණ්ඩපාතය ගෙන එන්නාවූ එක් අයකු හැර වෙනත් කිසිවකු පැමිණිය යුතු නොවේ.”
අනුන්ගෙන් එල්ල වන දෝෂාරෝපණ දුරු කිරීම පිණිස මෙසේ කියා හුදෙකලාවූහයි අන් අය කීහ. “මම සර්වඥ වෙමි, මම සද්ධර්ම වර චක්‍රවර්ති වෙමි” යි තමා හඳුන්වා ගනිමින් මුන්වහන්සේ තමාගේ ශ්‍රාවකයන් එකිනෙකා ඝාතනය වන කල්හි එය වැළැක්වීමට නොහැක්කේ වෙයි. වෙනත් කුමක් නම් හැකි වන්නේ දැයි කියමින් බාහිර අය භාග්‍යවතුන් වහන්සේට අපවාද කියත්. එහිදී උගත් පුද්ගලයෝ මෙසේ කියති. “භාග්‍යවතුන් වහන්සේ විවේකීව හිඳිනා සේක් මේ පුවත නොදනිති, උන්වහන්සේට දැනුම් දෙන්නාවූ වෙනත් කිසිවෙක්ද නැත, ඉදින් දනිත් නම් ඒකාන්තයෙන් එය වළක්වන්නාහ” මේ කැමති වීම පමණක්ම (හෙවත් ඉචඡා මාත්‍රයම) මෙහි මුල්ම කාරණයයි. නාස්සුධා මෙහි අස්සුධා යනු පද පූරණ මාත්‍රයෙහි හෝ අවධාරණ මාත්‍රයෙහි නිපාතයකි. කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙත් ම ය.
නොයෙක් වර්ණ සටහන් ආදී කරුණුවලින් ලාමක බවක් සිදු විය හැක්කේය. අනේකාකාර වොකාරො නොයෙක් අයුරින් ගැවසීගත්, නොයෙක් කරුණු මිශ්‍ර වූයේයයි කියන ලදී. ඒ කවරෙක්ද? අසුභ භාවනාවෙහි යෙදී සිටින තැනැත්තා. එය අනෙකාකාර ආකාරං අසුභ භාවනානුයොග මනුයුත්තා විහරන්ති = යොදන ලදුව, වඩාත් දැඩිසේ යොදන ලදුව වාසය කරත්. අට්ඨීයමානා = එම ශරීරයෙන් දුකට පත්වූවෝ වෙත්. හරායමානා = ලජ්ජාවෙමින් ජිගුච්ඡමානා = පිළිකුළ උපදවමින් සත්‍ථහාරකං පරියෙසන්ති = දිවි තොර කරවන ආයුධයක් පරීක්ෂා කරත්. හුදෙක් ආයුධය පිරික්සා තමාම තමා ජීවිතයෙන් තොර කරත්. මුවවසුරු පිඩක් සේ අගයෙන් තොර දුසිල්ශ්‍රමණයකු කරා එළඹ ඇවැත්නි, අප ජීවිතයෙන් තොර කරනු යහපතැයි කියත් ද. මෙහිදීද ආර්යයන් වහන්සේ පාණාතිපාතය නොමකළහ. සමාදන් ද නොවූහ. එකඟ ද නොවූහ. පුහුදුන් අය වනාහී සියල්ලම කළහ.
පතිසල්ලානා වුට්ඨිතො = එම පන්සියයක් භික්ෂූන්ගේ ජීවිත කාලය ක්ෂය වීමට පැමිණි බව දැන එම ඒකී භාවයෙන් නැඟී සිටි සේක් දන්නාහු නමුදු නො දන්නාක්හු මෙන් කථාව ආරම්භ කිරීම පිණිස ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූහ. කිං නුඛො ආනන්‍ද, තනුභූතො විය භික්‍ඛු සංඝො = ආනන්දයෙනි, මින්පෙර බොහෝ භික්ෂූහු එකතු වී උපස්ථානය පිණිස පැමිණෙති. උදෙසීම, ප්‍රශ්න කිරීම කරගණිති. ආරාමය එකම පහනක් මෙන් දිස්වෙයි. දැන් අඩමසක් පමණ ඇවෑමෙන් පසු තුනී වූවාක් මෙනි. භික්ෂු සංඝයා අඩුවූයේ, මඳ වූයේ, අල්පවූයේ, විරල වූයේ මෙනි. කරුණ කුමක්ද? භික්ෂූහු බැහැර ගියාහුද? (යනුවෙන් විචාළහ)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ඒ භික්ෂූන්ගේ ජීවිතක්‍ෂය වීම කර්ම විපාකයෙන් සිදුවූයේ යයි නො සලකමින් අසුබ කමටහනට අනුගත වීමේ හේතුවෙන් සිදුවූයේ යයි සලකා තථාහි පන භන්තෙ භගවා = (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එසේමය) යන ආදිය කියා භික්ෂූන්ගේ රහත් භාවයට පැමිණීම සඳහා අන් කමටහනක් ඉල්වනුයේ සාධු භන්තෙ භගවා යන ආදිය කීය. එහි අර්ථය නම් ස්වාමීනි, යම් කරුණකින් භික්ෂු සංඝයා රහත් බැව්හි පිහිටන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු අන් කරුණක් දේශනා කරන සේක්වා (යි ඉල්ලා සිටියේය) මහ සමුදුරට බසින තොටුපොළ වල් බොහෝ ඇත්තාක් මෙන් නිවනට පැමිණීම සඳහා දස අනුස්සති, දස කසිණ, චතු ධාතු වවත්‍ථාන, බ්‍රහ්මවිහාර, ආනාපාන සති ආදී ප්‍රභේද ඇති අන්‍යවූ බොහෝ කමටහන් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒවායින් භික්ෂූන් සනසවා වෙනත් කමටහනක් උගන්වන සේක්වා යන අදහසයි.