9. වීණොපම සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - යස්ස කස්සචි භික්‍ඛවෙ භික්‍ඛුස්ස වා භික්‍ඛුනියාවා = මහා කෙළෙඹියෙක් බොහෝ කෘෂිකර්මාන්ත කොට ශස්‍ය නිෂ්පාදනය කොට ගත්තේ නිවාස දොරටුවෙහි මණඩපයක් තනා (භික්ෂූ, භික්ෂූණී යන) උභතෝ සංඝයාට දන් පවත්වන්නේය. කෙසේ හෝ ඔහු විසින් උභතෝ සංඝයාට දුන් දානය නිසා තෘප්තිමත්වූ දෙපිරිස් අතර සෙසුජනයෝ ද තෘප්තිමත් වූවාහුමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍යයකට අධිකව පාරමිතාවන් පුරා බෝමැඩ දී සර්වඥතා ඥානයට පැමිණ, පැවැත්වූ උතුම් දම්සක් ඇත්තේ දෙව්රම් මහ වෙහෙරෙහි හුන්සේක් භික්ෂූ පිරිසට ද, භික්ෂූණී පිරිසට ද ධර්මදානය කරනුයේ වීණෝපම සූත්‍රය ඇරඹු සේක. ඒ සූත්‍රය ද දෙපිරිසක් සඳහා අරඹන ලද්දේ නමුදු සිවුපිරිසට ම විවෘතව පවතී. එබැවින් සියල්ලන් විසින් ම ඇසිය යුත්තේ ද, ඇදහිය යුත්තේ ද, අවබෝධ කොට ගෙන එහි අර්ථ රසය විඳගත යුත්තේ ද වෙයි.
එහි - ඡන්‍දො යන ආදියෙහි “ඡන්‍දො” යනු මුල් අවස්ථාවේ ඇති වූ දුබල තණ්හාවයි. එම බෙලහීන තණ්හාව පුද්ගලයකු පාලනය කිරීමට තරම් ශක්තිමත් නොවේ. නැවත නැවත උපදින බලවත් තෘෂ්ණාව රාගය නම් වෙයි. එම රාගය පුද්ගලයකු පාලනය කිරීමට තරම් ශක්තිමත් වේ. (පහර දීම් සඳහා) දඬු ගැනීම් ආදිය කිරීමට සමත් නොවූ මුලදී උපදින දුර්වල ක්‍රෝධය “දෝස” (ද්වේෂ) නම් වෙයි. (දඬු ගැනීම් ආදී) එබඳු දේ කිරීමට සමත්වූ නැවත නැවත උපදින්නා වූ බලවත් ක්‍රෝධය “පටිඝ” නම් වෙයි. “මෝහ” යනු මුලා වීම, දැඩි සේ මුලා වීම වශයෙන් උපන් අනුවණ බවයි. මෙසේ මෙහිදී (ඡන්‍ද, රාග, දෝස, පටිඝ, මෝහ යන) වචන පහකින් අකුසල මුල් තුන ගෙන හැර දක්වන ලදී. ඒවා ගනු ලැබූ කල්හි ඒවා මුල් කොට ඇති සියලුම ක්ලේශයෝ ගන්නා ලද්දාහු වෙත්. ඡන්‍ද, රාග යන පද දෙකින් ලෝභ සහගත සිතුවිලි අට ද, දොස, පටිඝ යන පද දෙකින් දොම්නස් සහගත සිතුවිලි දෙක ද, මෝහ යන පදයෙන් ලෝභ දෝස රහිත වූ උද්ධච්ච විචිකිච්ඡා සහගත සිතුවිලි දෙක ද ගන්නා ලදී. මෙසේ දොළසක් වූ සියලුම චිත්තෝත්පාදයෝ දක්වන ලද්දාහුය. සභයො = කෙළෙස් සොරුන්ගේ වාසස්ථානයක් බැවින් බිය සහිත වූයේ සප්පටිභයො = වධ බන්‍ධන ආදීන්ගේ හේතුවෙන් බිය ඇත්තේ සකණ්ටකො = රාගාදිය හේතුවෙන් කටු සහිත වූයේ,
සහගණෙ = රාගය ග්‍රහණය කර ගැනීම් ආදියෙන් “සගහණො” (හෙවත් ග්‍රහණ සහිත) වූයේ උම්මග්ගො = දෙව්ලොවට හෝ මිනිස් ලොවට හෝ නිවනට හෝ යන්නවුනට නුසුදුසු මඟ කුම්මග්ගො = අප්‍රසන්න වූ, පිළිකුල් වූ තැනකට යන අඩිපාරක් මෙන්. අපායට පමුණුවන බැවින් කුම්මග්ග (හෙවත් දූෂිත වූ මාර්ගය) නම් වේ. දුහිතිකො = මෙහි “ඉහිති” යනු ක්‍රියාවන් පැවැත්වීමයි. ක්‍රියා කිරීම් පැවැත්වීම දුක් සහිතය, යන අදහසින් “දුහිතිකො” යන්න යෙදේ. යම් කිසි මාර්ගයෙක් හි මුල් ගෙඩි ආදී කෑ යුතු දෙය හෝ රස විඳිය යුතු දෙය හෝ නැතිනම් එහි ක්‍රියාකාරකම් පැවැත්වීම දුක් සහිත වේ. ඒ මඟට බැස උවමනා තැනට යාමට නො හැක්කේය. කෙලෙස් මඟට වුව ද බැස සම්පත් ස්වභාවයකට යාමට නොහැක්කේ ය. කෙලෙස් මඟ යනු ක්‍රියාකාරකම් පැවැත්වීමට අපහසු තැනකැයි කියන ලදී. මීහිතිකො යනු ද පාඨයකි. (එම පාඨය ද) මේ පිළිවෙලමය. අසප්පුරිස සෙවිතො = කෝකාලික ආදී වූ අසත්පුරුෂයන් විසින් සේවනය කරනු ලැබුයේ
තතො චිත්තං නිවාරයෙති = ඇස විසින් දත යුතු වූ රූපයන් විසින් ඡන්‍දාදී වශයෙන් (කෙලෙස්වලට බරව) පවත්වනු ලබන ඒ සිත අසුභානුස්සති ආදී උපායයන් ගේ පිහිටෙන් (කෙලෙස්වලින්) වළක්වා ගත යුත්තේය. ඇස නමැති දොරටුව තුළ ප්‍රිය වූ අරමුණක් කෙරෙහි රාගය උපන් කල්හි එය අසුබ ලෙස සිහි කරන්නහුගේ සිත (කෙලෙසුන් කරා නොගොස්) නවතී. අප්‍රිය වූ අරමුණක් කෙරෙහි ද්වේෂයක් උපන් කල්හි (එය) මෛත්‍රියෙන් සලකා බලන්නහුගේ සිත (කෙලෙසුන් කරා නො ගොස්) නවතී. මධ්‍යස්ථ අරමුණක් කෙරෙහි මෝහයක් උපන් කල්හි අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්න කරන්නාවූ ද, ගරුකටයුතු වූ ද තම පැවැත්ම සිහි කරන්නහුගේ සිත (කෙලෙසුන් කරා නො ගොස්) නවතී. මෙසේ කළ නො හැකි තැනැත්තා විසින් ශාස්තෲන් වහන්සේගේ උත්තම භාවය ද, ධර්මයේ ස්වාක්ඛාත භාවය ද, සංඝයාගේ මනා වූ ප්‍රතිපත්තීන් ද සලකා බැලීම (හෙවත් ආවර්ජනා කිරීම කරනු ලැබිය යුත්තේ ය. ශාස්තෲන් වහන්සේගේ උත්තම ස්භාවය සිහි කරන්නහුගේ ද සිත (කෙළෙසුන්) කරා නො ගොස්) නවතී. එහෙයින් අසුභ යයි සිහිකිරීම් ආදී උපායයන්ගෙන් (සිත කෙලෙසුන් කරා නොයවා) නවත්වා ගත යුත්තේය යි කියන ලදී.
කිට්ඨං = ගොයම් සැදෙන තැන්හි හටගත් ශස්‍යය. සම්පන්නං = සම්පූර්ණ වූ, මනාලෙස හට ගත්තා වූ කිට්ඨාදො = ශස්‍යය කන තැනැත්තා එවමෙවඛො = මෙහි සම්පූර්ණ වූ ගොයම මෙන් පංචකාම ගුණයන් දැක්විය යුතුය. ගොයම් කන්නා වූ ගොනා මෙන් වංචක සිත දැක්විය යුතුය. ගොයම රකින්නහුගේ ප්‍රමාද කාලය මෙන් භික්ෂුව (ඇස්, කන් ආදී) දොරටු සයෙහි සිහිය අත්හැර හැසිරෙන කාලය දැක්විය යුතුය. ගොයම රකින්නහුගේ ප්‍රමාදයෙහිදී පැමිණි ගොනු විසින් පීදුණ ගොයම කන ලද බැවින් ශෂ්‍ය හිමිකරුට ශස්‍ය ඵලය නො ලැබී යාම මෙන් භික්ෂුවගේ ශ්‍රමණ භාවයේ ඵලය නොලැබුණ බව දත යුත්තේය. එසේ වූයේ දොරටු සය රැක ගැනීමේ සිහියෙන් බැහැර වී පස්කම් ගුණය ආස්වාදනය කරන සිත නිසා කුසල පක්ෂය නසා ගත් බැවිනි.
උපරිඝටායං = අං දෙක අතරෙහි සුනිග්ග හිතං නිග්ගණ්හෙය්‍ය = නාසයෙහි පිහිටි නාස් ලණු මනාව පාලනය කොට මැඩ පවත්වයි. දණ්ඩෙන = මුගුරකට සමානවූ ලොකු ලීයකින් එවංහි සොභික්‍ඛවෙ ගොණො. මෙසේ ඔහු (එම ගොනා) ගොයම රක්නහුගේ ප්‍රමාදය අනුව යම් යම් අවස්ථාවන්හි ගොයමට බැසීමට කැමති වේද, ඒ ඒ අවස්ථාවන්හි මෙසේ මැඩ පවත්වා තළා ඉවතට යැවීමෙන් අනාථ භාවයට පත් කරන ලද ගොනා.
එවමෙවඛො = මෙහි ද සමෘද්ධ වූ ගොයම මෙන් පස්කම් ගුණ දැක්විය යුතුය. ගොයම් කන්නා (=ගොනා) මෙන් වංචක සිත ද, ගොයම රකින්නහුගේ අප්‍රමාදය මෙන් මේ භික්ෂුවගේ (ඇස් ආදී) දොරටු සයෙහි සිහිය පිහිටුවා ගෙන සිටීම ද, දණ්ඩ මෙන් සුත්‍රාන්ත ධර්මය ද, ගොනා ගොයමට ළංවන කාලය මෙන් සිත බාහිර වූ විවිධ අරමුණු වෙත යොමු වූ කාලය ද, දණ්ඩෙන් තැළීම මෙන් අනමතග්ගිය, දේව දූත, ආදිත්ත, ආසී විසූපම, අනාගත භය ආදී සූත්‍රයන්හි ඒ ඒ සූත්‍ර පාඨ ආවර්ජනා කොට විවිධ අරමුණුවලින් සිත් පහළ වීම වළක්වා මුල් කමටහනෙහි බැස ගැනීම ද දත යුතුයි. එහෙයින් කීහ පැරැන්නෝ