1. සළායතන සංයුත්තය
1. අනිච්ච වර්ගය
1. අජ්ඣත්තානිච්ච සූත්‍ර වර්ණනාව
සළායතන වග්ගයේ පළමු වැන්නෙහි චක්ඛුං (හෙවත් ඇස) යනු නැණැස ද, මසැස ද යන දෙනෙතයි. එහි නැණැස (හෙවත් ඤාණ චක්ඛුං) යන්න බුදු ඇස, දහම් ඇස, සමතැස, දිවැස, පැණැස යනුවෙන් පස් වැදෑරුම් වේ. ඒ (ඇස්) අතුරෙහි බුදු ඇස (හෙවත් බුද්ධචක්‍ඛු) යනු චිත්ත ස්වභාවය හා සැඟවුණ චෛතසික ක්ලේශයන් හඳුනාගැනීමේ නුවණ ද, සාමාන්‍ය ඉන්ද්‍රියයනට ගෝචර නොවන තත්ත්වයන් හඳුනා ගැනීමේ නුවණ ද වෙයි. මේ අදහස බුදු ඇසින් ලොව බලන සේක (හෙවත් බුද්ධ චක්‍ඛුනා ලොකං ඔලො කෙන්තො”) යි යනුවෙන් කියු තන්හි ද දැක්වේ. දහම් ඇස යනු යටත් පිරිසෙයින් (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යන) මාර්ග තුන ද, එම ඵල තුන ද (අවබෝධ කරගැනීම) වේ. මෙම දහම් ඇස (හෙවත් ධම්මචක්‍ඛු) යන්න “කෙළෙස් නැත්තා වූ ද? කෙළෙස් පහ කළාවූ ද දහම් ඇස පහළ විය” (හෙවත් විරජං, වීතමලං ධම්මචක්ඛුං උදපාදි) යන තන්හි දැක්වේ. සමතැස (හෙවත් සමන්තචක්‍ඛු) යනු සියල්ල දක්නා නුවණයි. මෙය ප්‍රාසාදයකට නැගී හාත්පස හැම දෙයක්ම වෙත නෙත් යොමු කිරීමක්” (හෙවත් පාසාද මාරුය්හ සමන්ත චක්‍ඛු,) ලෙසින් දැක්වේ. දිවැස (හෙවත් දිබ්බ චක්‍ඛු) යනු දර්ශන ශක්තිය වර්ධනය කර ගැනීමෙන් උපන් නුවණයි. මෙය “පිරිසිදු වූ දිව ඇසින්” (හෙවත් දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන) යන තන්හි දැක්වේ. පැණැස (හෙවත් පඤ්ඤා චක්‍ඛු) යනු චතුරාර්ය සත්‍යය පිරිසිඳ දැනීමේ නුවණයි. මෙය ඇස පහළ විය. (හෙවත් චක්‍ඛුං උදපාදි) යන තන්හි දැක්වේ.
මසැස (හෙවත් මංස චක්‍ඛු) ද දෙවැදෑරුම් වේ. එනම් භෞතික ඇස (හෙවත් ද්‍රව්‍යමය ඇස, හෙවත් සසම්භාර චක්‍ඛු) ද, පෙනීම ලබා දෙන ඇස (හෙවත් පසාද චක්‍ඛු) ද වශයෙනි. ඒ දෙක අතුරෙන් භෞතික ඇස (හෙවත් සසම්භාර චක්‍ඛු) වනාහී මෙසේ වන්නේය. එය අක්ෂි කූපය තුළ හෙවත් ඇස කෙවෙණිය තුළ පිහිටියා වූ ද, අක්ෂි පටලයන්ගෙන් ආවරණය ලැබුවාවූ ද මාංස පිණ්ඩයකි. එය සිවු වැදෑරුම් (පඨවි ආදී) ධාතුන්ගෙන් යුක්ත වේ, වර්ණ, ගන්ධ, රස, ඕජස් යන මේවායින් හට ගත්තකි, ජීවී ස්වභාවයක් ඇත්තකි, පෙනීම යන තත්ත්වය (හෙවත් චක්‍ඛුප්පසාදය) ද, අරමුණ ග්‍රහණය වන තත්ත්වය (හෙවත් කායප්පසාදය) ද ඇත්තකි. සංක්ෂේප වශයෙන් කොට්ඨාශයන් තෙළෙසකින් යුක්ත වේ. විස්තර වශයෙන් වනාහී මෙසේ දැක්වේ. වර්ණ, ගන්ධ, රස ඕජස් යන ගුණයන්ගෙන් හටගත් ධාතූන් සතරකි. සිවු වැදෑරුම් වූ හට ගැනීමේ හේතු වශයෙන් ඒවා සතියක් ද. සජීවී ස්වභාවයක් ද පෙනීම යන තත්ත්වය ද, පෙනෙන අරමුණ ග්‍රහණය වන තත්ත්වය ද යන කරුණු පවත්නේය. මේ කරුණු කර්මයෙන් හට ගනී. චත්තාරො (හෙවත් සතරක්) යන්නෙන් කොටස් සතළිසක් අදහස් වේ. මෙය භෞතික ඇස (හෙවත් සසම්භාර චක්‍ඛු) නම් වේ. සුදු පැහැති රවුමෙන් (හෙවත් සුදු ඉංගිරියාවෙන්) සීමා වී ඇති, තෘෂ්ණා මණ්ඩලයෙන් (හෙවත් කළු ඉංගිරියාවෙන්) වට වී ඇති, දෘෂ්ටි මණ්ඩලයෙහි පතිත වූ රූපය දර්ශනය කිරීමෙහි සමත් වූ යම් ස්ථානයක් වේද එය පෙනුම ලියා දෙන ඇස (හෙවත් පසාද චක්‍ඛු) නම් වේ. එයින් බැහැර වූ කණ (හෙවත් සෝත) ආදී ඉන්ද්‍රියයන්ගේ විස්තර විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේය.
එහි පෙනුම ලබා දෙන ඇස (හෙවත් පසාද චක්‍ඛු) ය යන යමක් වේද, භාග්‍යවතුන් වහන්සේ එය සලකා ගෙන චක්‍ඛුං භික්‍ඛවෙ අනිච්චං (මහණෙනි ඇස අනිත්‍ය වේ) ආදිය වදාළහ. එහිදී අනිත්‍යය, ඇතිවීමය, නැති වීමය පැවැත්මය යනාදී කරුණු සතරක න්‍යායයෙන් යුත් විස්තර කථාව ඉහත දී කියන ලද්දේමය. සොතං (හෙවත් කණ) යනුවෙන් ඇසීම ලබා දෙන කර්ණේන්ද්‍රිය (හෙවත් පසාද සොතං) යන්නම අදහස් කරන ලදී. එහිදී නැහැය, දිව, කය, මනස (රූපාවචර, අරූපාවචර. කාමාවචර වශයෙන්) ත්‍රෛභූමික වූ, අරමුණු සොයමින් යන ලක්ෂණය සහිත වූ චිත්තයම අදහස් වේ. මෙසේ මේ සූත්‍රය සය වැදෑරුම් වූ ආධ්‍යාත්මික ආයතනයන්හි ත්‍රි ලක්ෂණයන් පෙන්වා අවබෝධ කරවීමේ අදහසින් කියන ලදී.
2-3. අජ්ඣත්තදුක්ඛ ආදි සූත්‍ර වර්ණනා
දෙවනුව ලක්ෂණ දෙකක් කියන ලදී. තුන්වනුව එක් ලක්ෂණයක් පෙන්වා අවබෝධ කරවීමේ අදහසින් කියන ලදී. සෙසු කරුණු වනාහී කියන ලද අයුරින්ම සලකා බැලිය හැක්කේය. නැතහොත් මෙම කරුණු සමගින්ද සලකා බැලිය හැක්කේය.
4-6. බාහිරානිච්ච ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - රූප, ගන්ධ, රස, ස්පර්ශයනට සිවු වැදෑරුම් උත්පත්තියක් ඇත්තේය. ධම්ම යනු ත්‍රෛභූමික ධර්මයන් අරමුණු කර ගැනීමයි. මෙය ද බාහිරවූ ෂඩායතනයන්හි ත්‍රි ලක්ෂණ දක්වා අවබෝධ කරවීමේ අදහසින් කියන ලදී.
පස්වැන්නෙහිද. සයවැන්නෙහිද කියූ කරුණු දෙවැන්නෙහි තෙවැන්නෙහි කියන ලද කරුණුවලට සමාන වේ.
7-12. දුතිය අජ්ඣත්තානිච්ච ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නේදී ඇස් ආදී ඉන්ද්‍රියන්හි අතීතයෙහි සිදු වූ ද, අනාගතයෙහි සිදු වන්නාවූ ද අනිත්‍ය ලක්ෂණාදිය සලකා වර්තමානයේදී ඒවා තදින් ග්‍රහණය කිරීමෙන් වෙහෙස වන්නන්ගේ ආකාරයෙන් යයි කියන ලදී. සෙස්ස සියළු තන්හිම යට කියන ලද පරිදිම වන්නේය.
පළමු වන අනිච්ච වර්ගය නිමියේය
2. යමක වර්ගය
1-4. සම්බොධ ආදි සූත්‍ර වර්ණනා
යමක වර්ගයේ පළමුවැන්නෙහි සහ දෙවැන්නෙහි දැක්වෙන අජ්ඣත්තිකානං (හෙවත් ආධ්‍යාත්මිකයන්ගේ) යනුවෙන් අධ්‍යාත්මයෙහි ගැඹුරුම ස්වභාවය වශයෙන් යයි අදහස් වේ. එම ආධ්‍යාත්මික ස්වභාවය වනාහී ඡන්ද රාගයාගේ (හෙවත් කැමති වන දෙයට ආශා කිරීමේ) අධික බලවත් භාවය පිණිස පවතීයයි දත යුත්තේය. ආධ්‍යාත්මික ආයතන සය මිනිසුන්ගේ නිවෙස් හි ඇතුළු කොටස් මෙනි. බාහිර ආයතන සය නිවසට යාබද අවට කොටස් මෙනි. ඔවුන්ගේ අඹු දරුවන්ගෙන් හා ධන ධාන්‍යයෙන් පිරුණු ගෘහ අභ්‍යන්තරය කෙරෙහි ආශාව අධික ලෙස බලවත් වෙයි. කිසිවකුට හෝ එහි ඇතුල් වීමට ඉඩ නො දෙත්. භාජන ගැටීමකින් හට ගන්නා ඉතා අල්ප වූ ශබ්ද මාත්‍රයකදී පවා මේ කුමක් දැයි ප්‍රශ්න කරති. මේ අයුරින්ම ආධ්‍යාත්මික ආයතන සය පිළිබඳව අතිශයින් බලවත් වූ ආශාවක් ඇති වේ. මෙසේ ආශාවෙහි බලවත් බව නිසා ඒ ආයතන අධ්‍යාත්මික යයි කියනු ලැබේ. නිවස අවට කෙරෙහි වනාහී ආශාව එතරම් බලවත් නොවේ. එහි යන එන මිනිසුන් ද, සිවු පාවුන් ද වහ වහා වැළැක්වීම නොකරත්. නො වළක්වන නමුදු ඔවුන්ගේ පැමිණීමට කැමැත්තක් ද නැත. පස් කූඩයක් හෝ ගැනීමට ද ඉඩ නො දෙත්. මෙසේ එම දේවල් කෙරෙහි අධික ආශාවක් ද ඔවුන් තුළ නැත. එබැවින් ඒවා බාහිර (ආයතන) යයි කියනු ලැබේ. ආධ්‍යාත්මික හා බාහිර ආයතන පිළිබඳව විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. සෙස්ස ඉහතින් සූත්‍ර දෙකෙහි කියන ලද ක්‍රමය අනුවම වේ. ඒ අයුරින්ම තෙවැන්නෙහි හා සිවු වැන්නෙහි කරුණු ද දත යුත්තේය.
5-6. නො චෙ අස්සාද ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි - නිස්සටා යන්නෙහි අදහස නික්මුණු යන්නයි. විසඤ්ඤුත්තා යන්නෙහි අදහස සංයෝග නො වූ යන්නයි. විප්පමුත්තා යන්නෙහි අදහස නොඇලුණු, නිදහස්වූ යන්නයි. විමරියා දිකතෙන චෙතසා යන්නෙහි අදහස සීමාවලින් තොර වූ සිතුවිල්ලෙන් යන්නයි. යං යම්බඳු වූ කෙළෙස් රැසක් හෝ පැවැත්මක් හෝ ප්‍රහීන නොවී පවතී ද, එසේ පැවතීමේ හේතුවෙන් පෘථග්ජනයන්ගේ සිත සීමාවලින් වට වූයේ ද වේ. යනු “යං” යන්නෙහි අදහසයි. යම් (ක්ලේශ) තත්ත්වයක් ප්‍රහීන වූයේ ද, ඒ හේතුවෙන් චිත්ත සීමා ඉවත් වේ. මෙහි වනාහී සර්ව ප්‍රකාරයෙන්ම කෙලෙසුන්ගේ ද, පැවැත්මේ ද ප්‍රහීන වීමේ හේතුවෙන් චිත්ත සීමාවන් ඉවත් වීම නිසා කෙළෙස් පැවතුම් හි සීමාවන් ඉක්ම වූ සිතින් වාසය කළහ යන අර්ථයයි. සය වැන්නෙහි ද මේ පිළිවෙළම වේ. මේ සූත්‍ර නවයෙහිම චතුරාර්ය සත්‍යයම කියන ලද්දේයයි දත යුත්තේත්ය.
7-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්න මුල් කොට ඇති සූත්‍ර සතරෙහි පැවැත්ම ද නැවැත්ම ද යන මෙය ම කියන ලදී. මේවායේ අනු පිළිවෙළ කථාව වනාහී ඉහත කියන ලද ක්‍රමය අනුවම දත යුත්තේය.
දෙවන යමක වර්ග නිමියේය.
3. සබ්බ වර්ගය
1. සබ්බ සූත්‍ර වර්ණනාව
සබ්බ වර්ගයේ පළමු වැන්නෙහි දැක්වෙන “සබ්බං වො භික්ඛවෙ” යන්නෙහි දැක්වෙන “සබ්බං” යන්න සබ්බ සබ්බ, ආයතන සබ්බ, සක්කාය සබ්බ, පදෙස සබ්බ,” යනුවෙන් සිවු වැදෑරුම් වේ. එහි “සබ්බ සබ්බ” යන්න මෙසේ හඳුන්වා ඇත.
න තස්ස අදිට්ඨමිධත්‍ථි කිඤ්චි
අථො අවිඤ්ඤාතමඡානි තබ්බං,
සබ්බං අභිඤ්ඤාසි යදත්‍ථි නෙය්‍යං
තථාගතො තෙන සමන්ත චක්‍ඛු”
බුදුන්වහන්සේ විසින් මෙලොව නොදක්නා ලද්දාවූ ද, නොදන්නා ලද්දවූ ද, නො දතයුතු වූ ද, කිසිවක් නැත්තේය, දත යුතු යමක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ “සමන්ත චක්‍ඛු” යයි හඳුන්වනු ලැබෙත්
ගාථාවෙහි අරුත හෙල පැදියෙන් මෙසේ දැක්විය හැක. (එයින් කීහ අටුවාචාරීහු)
නොදුටු නොම දත් හා - නොදත යුතු කිසිවක් නැති.
සව්නේ මඬල දත් - බුදුහු සමතැස් නමින් කියැවෙති.