19. ආසීවිස වර්ගය
1. ආසිවිසොපම සූත්ර වර්ණනාව
ආසී විස වර්ගයේ පළමු වැන්නෙහි භික්ඛු ආමන්තෙසී = තනිව හැසිරෙන්නා වූ ද, තිදෙනා බැගින් හැසිරෙන්නා වූ ද, සිවු දෙනා බැගින් හැසිරෙන්නාවූ ද පස් දෙනා බැගින් හැසිරෙන්නාවූ ද අන් අය සමග එකට ගැළපෙන පැවතුම් ඇති. (භාවනාවෙහි) ක්රියාකාරීව වෙසෙන. (අන් අය විසින් උපදෙස් දීම් වශයෙන්) යොදවන ලද්දාවූ. දුඃඛ ලක්ෂණාදියෙන් යුත් සියළුම කර්මස්ථාන ලාභීන් පිරිවරා ගෙන හුන්, භාවනානුයෝගී භික්ෂූන් හට ආමන්ත්රණය කළේය. මේ සූත්රය වනාහී පුද්ගල අදහස් වශයෙන් කියන ලදී. පුද්ගලයන් අතරෙහි ද විස්තර වශයෙන් කියූ කල්හි අවබෝධ කර ගත හැක්කාවූ, ප්රදේශ වාසීවූ, දුඃඛ ලක්ෂණාදී කර්මස්ථාන ධාරී, උපස්ථාන වේලාවේහි පැමිණ ශාස්තෲන් වහන්සේ පිරිවරා හුන් පිරිසට කියන ලදී. එසේ වුවද උග්ඝටිතඤ්ඤ (හෙවත් කරුණු වහා අවබෝධ කරගත හැකි පුද්ගල කොටස) ආදී සිවු වැදෑරුම් පුද්ගලයන් හට ද මෙය යෝග්ය වන්නේමය. උග්ඝටිතඤ්ඤ පුද්ගලයා වනාහී මේ සූත්රයේ මාතෘකාව දැන ගැනීමෙන්ම අර්හත් භාවයට පැමිණෙන්නේ ය. විපචිතඤ්ඤු පුද්ගලයා මාතෘකාව විස්තරයට භාජන කිරීමෙන් ද, නෙය්ය (හෙවත් ඤෙය්ය) පුද්ගලයා මේ සූත්රය සජ්ඣායනා කරමින්, විමසමින් නුවණින් මෙනෙහි කරමින් කළ්යාණ මිත්රයන් සේවනය කිරීමෙන්, භජනය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් ද අර්හත්භාවයට පැමිණෙන්නෝ ය. පද පරම (හෙවත් වචන කියවීම මිස අර්ථාවබෝධයක් නැති) පුද්ගලයාට මේ සූත්රය අනාගතයෙහි පුරුද්දක් පිණිස වන්නේ ය. මෙසේ සියල්ලන් හට ම උපකාරී වන බව දැන භාග්යවතුන් වහන්සේ මහමෙර ඔසවා පෙන්වන්නාක් මෙන් ද, අහස විස්තර කොට දක්වන්නාක් මෙන් ද. සක්වල පව්ව කම්පා කරවන්නාක් මෙන් ද මහත් උත්සාහයෙන් “සෙය්යථාපි භික්ඛවෙ” යනුවෙන් මෙම ආසී විසෝපම සූත්රය ආරම්භ කළ සේක.
එහි චත්තාරො ආසී විසා යනු කට්ඨ මුඛ. පුතිමුඛ. අග්ගිමුඛ. සත්ථමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම වියලි දණ්ඩක් මෙන් තද වෙයි. නැමෙන සන්ධි ස්ථානවල දැඩි සේ යකඩ උලකින් අනිනු ලබන්නාක් මෙන් වෙයි. පූතිමුඛ සර්පයා විසින් දෂ්ට කරන ලද්දහු ගේ සිරුර ඉදී කුණු වු කොස් ගෙඩියක් මෙන් ඕජස් සහිත බවට පැමිණ වැගිරෙයි. කිරිගොටුවෙහි දැමූ ජලය මෙන් වෙයි. අග්ගිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරය ම දැවී ගොස් අලු මිටක් මෙන් ද, දහයියා මිටක් මෙන් ද විසිරී යයි. “සත්ථමුඛ” නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම සිදුරුවෙයි. හෙනයක් වැඳුණ තැනක් මෙන් ද, ගෙයකට සොරෙන් ඇතුල් වීමට මහ නියනකින් සාදන ලද විවරයක් මෙන් ද වෙයි. මෙසේ විෂ වශයෙන් වෙනස්ව බෙදුනාවූ සර්පයෝ සතර වර්ගයක් වෙති.
ඔව්හු විෂ වේග වෙනසින් සොළසක් වෙති. කට්ඨමුඛ සර්පයා වනාහී දට්ඨ විස, දිට්ඨවිස, ඵුට්ඨවිස, වාතවිස වශයෙන් සිවු වැදෑරුම් වේ. ඒ සර්පයා විසින් දෂ්ට කරන ලද්දාවූ ද, දක්නා ලද්දාවූ ද ස්පර්ශ කරන ලද්දාවූ ද, උගේ වාතයෙන් පහර වදිනු ලැබුවා වූ ද ශරීරය (පෙර) කී අයුරින් තද වෙයි. සෙසු තන්හිදී ද මේ පිළිවෙළම වෙයි. මෙසේ විසවේග වෙනසින් වනාහී සොළසක් වෙති.
නැවත පෞද්ගලික වෙනස්කම් වශයෙන් සූ සැටක් වෙති. ඒ කෙසේද යත් :- කට්ඨමුඛ නම් සර්ප වර්ගයා තුළ “දට්ඨ විස” නම් කොටස සාමාන්ය විෂ ඇති, එහෙත් ඝෝර විෂ නැති කාණ්ඩය, සෝර විෂ ඇති, සාමාන්ය විෂ නැති කාණ්ඩය, සාමාන්ය විසද නැති කාණ්ඩය වශයෙන් කාණ්ඩ සතරකි. එහි දී යම් සර්පයකුගේ විසින් මණී සර්ප ආදීන්ගේ විස මෙන් දැල්වුණ තණ සුලක ගින්න සේ ගීඝ්රයෙන් නැගී ඇස්වලට ඇතුල් වී, කඳට ඇතුල් වී, හිසට ද ඇතුල් වී පවතී යයි කිවයුතු බවට පැමිණේ ද එවිට මන්ත්ර පිරිවහා කණට පිඹ කෝටුවකින් පහරක් ගැසූ පමණින් විස බැස දෂ්ට කළ තැනම නවතී නම් මෙය සාමාන්ය විෂ ඇති, ඝෝර විස නැති කාණ්ඩය නම් වේ.
යමකුගේ වනාහි විස ඉක්මනින් නගී ද, නැගුන ස්ථානයෙහි මෙය බොන ලද දියත්තක්සේ පවතී ද, ජල සර්ප ආදීන්ගේ විසමෙන් දොළොස් වසරක ඇවෑමෙන් පවා කණෙහි බාහිර ස්ථානවල සහ කඳෙහි බාහිර ස්ථානවල පෙනෙන්නට තිබේද, මන්ත්ර කියවීම් ආදිය කෙරෙන කල්හිද ශීඝ්රයෙන් බැස නොයයි ද මෙය ඝෝර විෂ නම් වේ. සාමාන්ය විෂ නොවේ.
යමකුගේ විස ශීඝ්රයෙන් නගී ද. අධි විෂ සර්ප ආදීන්ගේ විසමෙන් ශීඝ්රයෙන් බැස නොයයි ද මෙය සාමාන්ය විස ද ඝෝර විෂ ද වෙයි. යමකුගේ විස අල්ප වේද, බැසයන විට ද පහසුවෙන් බැස යයි ද, සර්පයකු නොවන එහෙත් සර්පයකු වැනි පලා පණුවා ආදීන්ගේ විස වැනි මෙය සාමාන්ය විෂ ද ඝෝර විෂ ද නොවේ.
මේ අයුරින් ම කට්ඨමුඛ නම් සර්ප වර්ගය තුළ දට්ඨවිස ආදී සර්ප කොටස් ද, පූතිමුඛ ආදී වර්ගයන් තුළ දට්ඨ විස ආදී කොටස් ද වෙතැයි දත යුතුය. මෙසේ පෞද්ගලික වෙනස්කම් වශයෙන් සූසැටකි.
ඔවුන් අතුරෙහි බිජුවටින් උපන් නාග ආදීහු යෝනි (හෙවත් වර්ග) වශයෙන් එක් එක් වර්ගය සතරට බෙදී දෙසිය සපණසක් වෙති. ඔව්හු ජලයෙහි උපන්නෝය ගොඩබිමෙහි උපන්නෝය යනුවෙන් දෙගුණ වී පන්සිය දොළසක් වෙති. ඔව්හු කාම රූප අකාම රූප වශයෙන් දෙගුණ වී එක් දහස් විසි හතරක සංඛ්යාවක් වෙති. නැවත (ඉදිරියට ගණනය කරමින්) ගිය මගෙහි ආපස්සට සංක්ෂේප කරමින් ඒ සර්පයන් කට්ඨ මුඛ ආදී වශයෙන් (වර්ග සතරක්ම වෙතියි යනුවෙන් භාග්යවතුන් වහන්සේ සෙය්යථාපි භික්ඛවෙ චත්තාරො ආසී විසා (මහණෙනි යම් සේ සර්පයෝ වර්ග සතරක් වෙත් ද) යී වදාළ සේක. මේ සර්පයෝ කුල වශයෙන් ගනු ලැබූහ.
එහි ආසී විසා ආසිත්ත කරන ලද (හෙවත් ඉසින ලද) විස ඇත්තෝ ආසීවිසයෝය. (හෙවත් සර්පයෝය) අසිත වර්ණ (හෙවත් කළු පාට) විස ඇත්තෝ යයි ද ආසී විස නම් වෙති. “ආසිත්ත විස” යනු මුළු සිරුරෙහිම වත්කොට මෙන් තබන ලද විසයි. අනුන්ගේ සිරුරෙහිද ඉසින ලද විසය යන අරුත ද වේ. “ආසිත විස” යනු - යම් යම් දේවල් මේ (විස) නිසා අසිත හට (හෙවත් කළු පාට) වේද, පරිභෝග කරනු ලැබූ එය විෂයක් ම ඇති කරන්නේ ද, ඒ නිසා ඔවුන් හට අසිත පාට විසක් ඇති වන්නේයයි “අසිත විසා” නම් වෙති. “අසි සදිස විසා” යනු කඩුවක මෙන් තියුණු වූ, අනුන්ගේ මර්මස්ථාන සිඳීමෙහි සමත් වු විසක්. අසි (හෙවත් කඩු) සමාන විසක් මොවුනට ඇතැයි යන අදහසයි. මෙහි වචනාර්ථ මෙසේ දත යුත්තේය. උග්ගතෙජො = උග්රවූ තේජස් ඇත්තෝ, බලවත් තේජස් ඇත්තෝ ඝොර විසා - (සිරුර) තදින් මැඩ ගෙන සිටින විස ඇත්තෝ