8. කිංසුකොපම සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - දස්සනං = මෙය පළමු වන මාර්ගයට තවත් වචනයකි. කෙලෙස් ප්‍රහීන කරන කාර්යය සාදා ගන්නා තැනැත්තා පළමු වරට නිවන දකී ද, එය පළමු වන මාර්ගයයි. ඒ නිසා “දස්සනං” යයි කියනු ලැබේ. ගෝත්‍රභූ ඥානය යනු (කුමක්දයත් සෝවාන් ආදී) මාර්ගයකට පැමිණීමට කිසිවක් දකීද, දැක වුවද කෙළෙස් නැසීම පිණිස කළ යුතු කාර්යයක් නැති බැවින් “දස්සනං” යයි නො කියනු ලැබේ. අනික් අතට වනාහී (සෝවාන් ආදී) මාර්ග සතර ද දර්ශනයන්ම වන්නේය. එහෙයින් සෝවාන් මාර්ග ක්ෂණයෙහි දර්ශනයන්ම වන්නේය. එහෙයින් සෝවාන් මාර්ග ක්ෂණයෙහි දර්ශනය විසුද්ධ වෙයි. ඵලයට පත්වන ක්ෂණයෙහි විසුද්ධ වී ඇත. සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන මාර්ගයන්හට පැමිණෙන ක්ෂණයන්හි දී දර්ශනය විසුද්ධ වෙයි. සෝවාන් ආදී එම ඵලයන් හට පැමිණෙන ක්ෂණයන්හිදී දර්ශනය විසුද්ධ වී ඇත. අන්‍ය භික්ෂූන් මෙසේ කියනු අසා ඒ භික්ෂූව “මම ද දර්ශනය විශෝධනය කොට අර්හත් ඵලයෙහි පිහිටියෙම් වෙමි, දර්ශන විශුද්ධියෙන් හටගත් නිවන සාක්ෂාත් කොට වාසය කරන අයෙක් වෙමි”යි කියා එම භික්ෂූන් වහන්සේ වෙත පැමිණ මෙය විචාළේය. (ඇස්, කන් ආදී) ස්පර්ශ ආයතනයන් පිළිබඳ කමටහන් වඩන්නකු වූ ඒ භික්ෂූව ස්පර්ශායතන සය වශයෙන් රූප අරූප ධර්මයන් පරිග්‍රහණය (විමසා බැලීම) කොට අර්හත්වයට පැමිණියේය. මෙහි වනාහී පළමු ආයතන පස “රූප” වේ. මන ආයතනය “අරූප” වේ. මෙසේ හෙතෙම තමා විසින් අවබෝධ කරගත් මාර්ගයට කීවේය.
අසන්තුට්ඨො - ස්ථානික සංස්කාරයන්හි සිට කියන ලද බැවින් අසතුටු වූයේය. ඔහුට මෙසේ අදහස් මතුවිය” මේ තෙමේ ස්ථානික සංස්කාරයන්හි සිට කථා කළේය. ස්ථානික සංස්කාරයන්හි පිහිටා සිට දර්ශනය පිරිසිදු කරන්නාවූ නිවනට පැමිණීමට හැකිවේද? යනුයි. ඉක්බිති “ඇවැත්නි. දර්ශනය විසුද්ධියට පත් කරන ඔබ තමාම දන්නෙහිද? නැතහොත් එය දන්නාවූ අන් අයෙක් හෝ වෙත්දැ”යි ඒ භික්ෂුවගෙන් විචාළේය. “ඇවැත්නි, අසවල් විහාරයන්හි අසවල් නම් ඇති තෙර කෙනෙක් වෙති”යි කීය. හෙතෙමේ ඒ තෙරුන් වෙත ද පැමිණ විචාළේය. මේ උපායෙන් අන්‍යවූ ද තෙරවරුන් ගැන දැන ගත්තේය.
මෙහි ද පඤ්චස්කන්ධ කර්ම ස්ථාන වඩන්නෙක් වී රූපස්කන්ධ වශයෙන් රූපය ද, සෙසු ස්කන්ධයන් වශයෙන් නාමයන් ද යනුවෙන් නාම රූප ලෙස වෙන්ව තීරණය කොට අනුක්‍රමයෙන් අර්හත් භාවයට පත්විය. එහෙයින් හේ තෙමේ ද තමා අවබෝධ කරගත් මාර්ගය ම කීවේය. මේ තෙමේ වනාහී මොවුන් හා අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ, පළමු වැන්නා විසින් ස්ථානික සංස්කාරයන්හි සිට යටකී කරුණු අනුව කියන ලදී. මොහු විසින් කොටස් වශයෙන් බෙදා නො දැක්වෙන (හෙවත් ස්ථානික නොවන) සංස්කාරයන්හි පිහිටා සිට කරුණු කියනු ලබන්නේයයි අසතුටු වී ඒ අයුරින්ම එය ප්‍රශ්න කොට ගියේය.
තෙවැන්නා මහා භූතයන් පිළිබඳව කමටහන් වඩන්නෙකි. (හෙතෙම) සතර මහා භූතයන් සැකෙවින් ද, සවිස්තරව ද ග්‍රහණය කොට රහත් බවට පත් විය. එබැවින් හෙතෙමේ ද තමා අවබෝධ කළ මාර්ගය ම කීවේය. මේ තෙමේ වනාහී ඔවුනොවුන් හට අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ. පළමු වැන්නා විසින් සංස්කාරයන් කොටස් කර ඒ මතයෙහි පිහිටා සිට කියන ලදී. දෙවැන්නා විසින් කොටස් කිරීමකින් තොරව කියන ලදී. තෙවැන්නා විසින් බොහෝ කොටස් කර කියන ලදැයි අසතුටු වී ඒ අයුරින්ම ඔහුගෙන් ප්‍රශ්න කොට ගියේය.
සිවු වැන්නා (කාමාවචර, රුපාවචර, අරූපාවචර යන) ත්‍රෛභූමික වූ කමටහන් වඩන්නෙකි. ඔහුට වනාහී සමව පැවති ධාතූහු වූහ. සිත් ගන්නා සිරුර ශක්තිමත් විය. ඔහුගේ සියළුම කමටහන් ද යහපත් විය. සංස්කාරයෝ අතීත, අනාගත, වර්තමාන වුව ද, කාමාවචර, රූපාවචර, අරූපාවචර වුව ද යහපත් ම වෙති. අයහපත් කමටහනක් නම් නැත්තේය. කාලයන්හි ද පෙරවරු හෝ පස්වරු හෝ වේවා, ප්‍රථම යාමය ආදිය වේවා ඔහුට අයහපත් කාලයක් නම් නැත්තේය. යම් සේ වනාහී සැරිසරන බිමට පැමිණි මහ ඇතෙක් අතින් (හෙවත් සොඩයෙන්) ගත යුතු දෙය අතින්ම කඩාගෙන ගනියි ද, පාවලින් පහර දී ගත යුතු දෙය (පා) පහර දී ගනියි ද එසේම සියළු ත්‍රෛභූමික ධර්මයන් කලාප (හෙවත් කොටස්) වශයෙන් ගෙන විමසා බලන්නේ රහත් බවට පත් විය. එහෙයින් හේ තෙමේ ද තමා විසින් අවබෝධ කර ගනු ලැබූ මාර්ගයම කීය. මේ තෙමේ වනාහී ඔවුන් හට අන්‍යොන්‍ය වශයෙන් සම නොවේ. පළමු වැන්නා විසින් සංස්කාරයන් කොටස් කිරීම් සහිතව ඒ මතයෙහි සිට කියන ලදී. දෙවැන්නා විසින් කොටස් කිරීමෙන් තොරව කියන ලදී. නැවත තෙවැන්නා විසින් කොටස් කිරීම් සහිත ව සිට ද, සිවු වැන්නා විසින් කොටස් කිරීම් වශයෙන් තොරවමද කියන ලද්දේ යයි අසතුටට පත් වී “කිම ඇවැත්නි, දර්ශනය විශුද්ධියට පත් කරවන මේ නිවන ඔබ විසින් තමාගේ ම ධර්මතාවයකින් අවබෝධ කරගන්නා ලද්දේද? නැතහොත් වෙනත් කිසිවකු විසින් ඔබට කියා දෙන ලද්දේ ද” යි ඔහුගෙන් විචාළේය. “ඇවැත්නි අපි කුමක් දනිමුද? දෙවියන් සහිත ලෝකයෙහි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙසෙති. අප විසින් මෙය දැන ගන්නා ලද්දේ උන්වහන්සේ නිසාය” යි කීය. හෙතෙම “මේ භික්ෂූහු මගේ අදහස දැනගෙන කියන්නට නොහැක්කෝ වෙති. මම ද සර්වඥ වූ බුදුන් වහන්සේගෙන් ම විමසා සැක නැති කරගත්තෙමි” යි සිතීය. එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය.