7. දුක්ඛධම්ම සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - දුක්ඛධම්මානං = දුක හටගන්නා ස්වභාවයන්ගේ ස්කන්ධ පස ඇති කල්හි කැපීම්, හිංසා කිරීම් සිර කිරිම් (ඡේදන, වධ, බන්‍ධන) ආදී විවිධ දුක් හට ගනී. එහෙයින්, ඒවා දුක හට ගන්නා ස්වභාවයන් බැවින් “දුක්ඛ ධමමා” යයි කියනු ලැබේ. තථා ඛො පනස්ස = ඒ ආකාරයෙන් විය හැක්කේය. යථාස්සකාමෙ පස්සතො = යම් අයුරකින් කාමයන් දකින්නාවූ මොහුට යථාචරන්තං = යම් අයුරකින් ගෙන යාම ද, විහරණය ද අවබෝධ කොට ගෙන හැසිරෙන්නහු. අඞ්ගාර කාසුපමාකාමා දිට්ඨා හොන්ති = (ඉපදීමට තැනක්) සෙවීම මුල් කොට ඇත්තහුගේ ද, ප්‍රතිසන්ධිය මුල් කොට ඇත්තහුගේද දුක වශයෙන් අඟුරුවළක් වැනි මහා ගින්නක් යයි දක්නා ලද්දේ වෙයි. කාමයන් සොයන්නන් හට වනාහී නැවකින් මහ සමුදුරට බට එළුවකු ගිය මඟට හෝ උල් ගසා එල්ලී නැගිය යුතු කඳු මඟකට හෝ පිවිසීම වැනි දුකක් උපදී. දෙපසින් රැස් වී යුදයට එළඹීම. පසු බැසීම ආදී වශයෙන් සොයා ගැනීම් (අයිති කරගැනීම්), ප්‍රතික්ෂේප කිරීම් මුල් කොට ඇති කාමයන් පරිභෝග කරන්නවුන්හට කාම පරිභෝග චේතනාව නිසා සතර අපායන්හි දෙන ලද (හෙවත් සිදුවන) ප්‍රතිසන්ධිය මුල් කොට ඇත්තාවූ මහා වේදනාකාරී දුකක් උපදී. මෙසේ දෙවැදැරුම් වූ දුක්වශයෙන් අඟුරු වල උපමා කොට ඇති දුක් දක්නා ලද්දේ වෙයි.
දායං = වනය. පුරතොපි කණ්ටකො = පෙර පසෙහි විදිනු කැමැත්තකු මෙන් ආසන්නයෙහිම පිහිටි කටු ඇති. පච්ඡතො = යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. යටින් වනාහි පයට පෑගෙන තැන් සමීපයෙහි හෝ පෑගුණ තැන්හිම හෝ ඒ තැනැත්තා කටු ලැහැබකම පිවිසියකු මෙන් වන්නේ ය. මා මං කණ්ටකො කටු මා නො විදින්නේ ය යනුවෙන් කටු පිළිබඳව ඇති දැනුම රකිමින්.
දන්‍ධො භික්‍ඛවෙ සතුප්පා දො = (නුවණින් නොබලන) සිහිය ඉපදීමම අනුවණ බවකි. උපන් පමණින්ම ජීවිතයට සම්බන්ධ වූ කෙලෙස් නිග්‍රහ ලැබිය යුතු වෙයි. මනාව පිහිටීමට නොහැකි වෙයි. ඇස නමැති දොරටුවෙහි රාගාදිය උපන් කල්හි දෙවන ජවන වාරයෙන්ම “මා තුළ කෙලෙස් උපන්නේය”යි දැන තෙවන ජවන වාරයෙහි සංවරවූ ජවනයක් ව ධාවනය වෙයි. නුවණින් බලන තැනැත්තා තුන්වන ජවන වාරයෙහි කෙලෙස්වලට නිග්‍රහ කරන්නේය. මෙය පුදුමයක් නොවේ. ඇස නමැති දොරටුවෙහි ප්‍රිය වූ අරමුණක් ගැටුණ කල්හි භවාංගය (හෙවත් මුල් සිත) විමසා බලා මෙනෙහි කිරීම් ඇතිවූ කල්හි (කුමන අරමුණක් දැයි) තීරණය කිරීමෙන් අනතුරුව පැමිණි කෙලෙස් ජවන වාරය නවත්වා කුසල් සිතක්ම උපදවයි. ආරම්භ කරන ලද විදර්ශනාව (හෙවත්, ත්‍රි ලක්ෂණ වශයෙන් දැකීම) ඇති. නුවණින් සලකා බලා භාවනාවෙහි යෙදෙන අයට මේ ආනිසංසය වෙයි.
අභිහට්ඨුං පවාරෙය්‍යුං = සුදින්න තෙරුන්ගේ මෙන්, රට්ඨපාල කුලපුතුගේ ද වැනි කාලයන්හි නවසත් රුවන් ගෙන්වා වචනයෙන් හෝ “අපගේ ධනයෙන් යම් ප්‍රමාණයක් කැමතිවන්නෙහි ද ඒ ප්‍රමාණය ගනුව”යි කියමින් පවරා දෙන්නෝය. අනුදහන්ති = සිරුරෙහි වෙළී පවත්නා බැවින් උණුසුම් දාහයක් උපදවා, දැවෙන බව ඇති කරයි. මතු වූ ඩහදිය හෝ සිරුරෙහි ඇලී පහ නොවී පවතී යන අදහසයි. යංහි තං භික්‍ඛවෙ චිත්තං = යම් හෙයකින් සිත ආවර්ජනා නො කෙරෙන කල්හි පුද්ගලයාගේ ආවර්ජනා කිරීමක් නම් නැත්තේය. මෙසේ වූ සිතක් නො පවතී. ඒ නිසා මෙසේ කියන ලදී. මෙසේ මේ සූත්‍රයෙහි විදර්ශනා බලයම දක්වන ලදී.
8. කිංසුකොපම සූත්‍ර වර්ණනාව