6. අවස්සුතපරියාය සූත්ර වර්ණනාව
සය වැන්නෙහි නවං සත්ථාගාරං = අලුත තනවන ලද රැස්වීම් ශාලාවකි. එක්තරා මහා ශාලාවක්ය යන අදහසයි. යුදයට සුදානම් වන කාලයන්හිදී රජවරු එහි සිට මෙපමණක් ඉදිරියෙන් යනු, මෙපමණක් පසු පසින් ද, මෙපමණක් දෙපසින් ද යනු මෙ පමණක් ඇතුන් පිට නගිනු මෙපමණක් අසුන් පිට ද නගිනු මෙපමණක් රථවල සිටිනු මෙසේ සියල්ල (නියම) කරත්. සීමා නිගමනයන් කරති. එබැවින් ඒ ස්ථානය “සන්ථාගාර” යයි කියනු ලැබේ. යුද්ධාභ්යාස ස්ථානයෙන් පැමිණ යම්තාක් නිවාසයන්හි තෙත් ගොම පිරිබඩ ගෑම් ආදිය කරවත්ද, ඒතාක් දෙතුන් දිනක් ඒ රජවරු එහි සත්ථම්භනය (හෙවත් මනස තදකර ගෙන, ශරීරය ද වෙනත් කාර්යයන්ගෙන් වළක්වා ගෙන සිටීම) කරතිය යන අදහසින් සන්ථාගාර යන්න යෙදිණ. ඒ රජවරුන් හට එක්ව ගෙන අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්ථාගාර නම් වේ. ඔව්හු ගණ රජවරු වන්නාහ. එබැවින් මතු වූ කාර්යය එක් අයකුගේ මතයකින් ප්රතික්ෂේප නොවේ. හැමගේම ඡන්දයද ලබා ගැනීමට සිදු වේ. එබැවින් සියල්ලෝම එහි එක් රැස් වී අනුශාසනා කරත්. ඒ නිසා එක් වී අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්ථාගාර නම් වේ. යම් හෙයකින් වනාහී ඔව්හු එහි එක් රැස් වී මේ කාලයෙහි සී සෑමට සුදුසුය. මේ කාලයෙහි වැපිරීමට සුදුසුය යන මේ ආදී පිළිවෙළින් ගෘහ වාසයෙහි කටයුතු සාකච්ඡා කරත්ද, එබැවින් ගෘහ වාසීන්ගේ කුදු මහත් තොරතුරු එහිදී මතුවේය යන අදහසින්ද සන්ථාගාර නම් වේ.
අචිර කාරිතං හොති = උළු ගඩොල් වැඩ. සුණු පිරියම් වැඩ. සිතුවම් වැඩ ඈ විසින් සුසැදී දෙව් විමනක් සේ අලුතින් නිම වූ සමණෙනවා = යම් හෙයකින් ගෘහ වස්තු අරක් ගන්නා කල්හි ම දේවතාවෝ තමාගේ වාසස්ථානය (වෙන් කර) ගනිත් ද එබැවින් දෙවියකු විසින් හෝ යනුවෙන් නො කියා “ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ කවරකු විසින් හෝ මනුෂ්ය වූවකු විසින් යයි කියන ලදී.
යෙන භගවා තෙනුපසඞ්කමිංසු = රැස්වීම් ශාලාව නිමවන ලදැයි අසා “යමු එය බලන්නෙමු” යයි ගොස් දොර කොටුවේ පටන් සියල්ල බලා මේ රැස්වීම් ශාලාව අතිශයින් මනහරය, සශ්රීකවත්ය, කවරකු විසින් මුලින් ම පරිභෝග කරන ලද්දේ නම් අපට දිගු කලක් හිතසුව පිණිස පවත්නේ දැයි සිතා අපගේ ශ්රේෂ්ඨ ඥාතීවරයාට පළමුව දිය යුත්තේ වුවද ශාස්තෲහු ම සුදුසුය, දිය යුතු අයකු වශයෙන් ද දීමට ශාස්තෲහුම සුදුසුය. එබැවින් පළමු ව ශාස්තෲන් ලවා පරිභෝග කරවන්නෙමු. භික්ෂු සංඝයාගේ පැමිණීම සලස්වන්නෙමු, භික්ෂු සංඝයාගේ පැමිණීමෙහිදී තෙවළා බුදුවදන් පැමිණියේම වන්නේ ය, ශාස්තෲන් වහන්සේ ලවා තුන් යම් රැය අපහට දහම් කථා කියවා ගන්නෙමු. එසේ අපට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ යයි සනිටුහන් කොට (ශාස්තෲන් වහන්සේ වෙත) පැමිණියහ.
යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු එදවස වනාහී සන්ථාගාරය රාජකීයන්ගේ දැක්ම පිණිස කිසියම් අයුරකින් සැරසු දෙව් විමනක් සේ සුසැදුණේ වෙයි. මනාව පිළිදැගුම් කරන ලද්දේ වෙයි. බුදුරදුනට සුදුසු සේ සකස් කොට (අසුන) නො පනවන ලදි. බුදුහු වනාහී ආරණ්යයන් පිළිබඳ අදහස් ඇත්තාහුය, ආරණ්යයන් ප්රිය කරන්නාහුය, ඇතුළු ගමෙහි වසනුවෝ හෝ මනා වසනුවෝ විය හැක. එබැවින් භාග්යවතුන් වහන්සේගේ සිත දැනගෙනම අසුන් පනවන්නෙමුයි සිතා ඒ අනුව භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. දැන් වනාහී කැමැත්ත ලබා ගෙන (අසුන්) පනවනු කැමැත්තෝ සන්ථාගාරය වෙත පැමිණියහ.
සබ්බසන්ථරං සන්ථාගාරං සන්ථරිත්වා = යම් සේ මුලුමනින්ම පැතිරී ගියේ වේද එසේ අතුරා සියල්ලට පළමුව සියලු මංගල කටයුතුවලදී ගොම ඇතිල්ලීම නම් සුදුසු යයි කියා, සුදෙන් පිරියම් කරන ලද්දාවූ භූමිය අමුගොම වලින් පිස දම්මවා පිරිසිදු බව දැන, යම් සේ පෑගුණ තැනෙක පා සලකුණ පෙනේද, මෙසේ (කොකුම් යවන පුෂ්ප, තුවරලා, තුරුක් තෙල් යන) සිවු දෑ ගඳ ආලේප කරවා, ඒ මතුයෙහි නොයෙක් වර්ණකාරකයන්ගෙන් සාදා ගත් සාරය අතුරා. ඒ මතුයෙහි පුළුල් පලස් දමා, ඇතුන් පිට දමන ඇතිරිලි, අසුන පිට දමන ඇතිරිලි, සිංහ රූප යෙදූ ඇතිරිලි, ව්යාඝ්ර රූප යෙදූ ඇතිරිලි, රන්වන් ඇතිරිලි, සුර්ය ලාංඡන සහිත ඇතිරිලි, විචිත්ර වූ ඇතිරිලි ආදී නා නා වර්ණයන්ගෙන් යුත් ඇතිරිලි වලින් ඇතිරිය යුතු හැම ඉඩ කඩක්ම ඇතිරවූහ. එබැවින් “සබ්බ සන්ථරං සන්ථාගාරං සන්ථරිත්වා” (හෙවත් සකල විධ ඇතිරිලිවලින් සන්ථාගාරය අතුරවා) යයි කියන ලදී.
ආසනානි = මැද ස්ථානයෙහි මංගල ස්තම්භය (හෙවත් මැද පිහිටි ප්රධාන කණුව) අසල ඉතා වටිනා බුද්ධාසනය පනවා ඒ ඒ තන්හි යම් යම් මෘදු වූ ද, මනරම් වූ ද ඇතිරිලි වේ නම් ඒවා අතුරා දෙපසෙහි රත්පැහැති. සිත් ගන්නා පෙනුම ඇති කොට්ට තබා, මතුයෙහි රන්තරු රීදී තරුවලින් විසිතුරු වියන් බැඳ, ගඳ දම්, මල් දම් හා වස්ත්ර දාම ආදියෙන් අලංකාර කොට අවටින් දොළොස් රියන් තන්හි මල් දැල් කරවා තිස් රියන් පමණ තැන් මල් තිරවලින් වට කරවා බටහිර බිත්තිය අසලින් භික්ෂු සංඝයාට පලඟ පුටු, හාන්සි පුටු හා නිරාවරණ පුටු ද පනවා මතුයෙහි සුදු ඇතිරිලි අතුරා, පෙරදිග බිත්තිය අසලින් තමාගේ පුළුල් පලස අතුරවා හංස ලෝම ආදියෙන් පිරුණ කොට්ට තැබ්බවූහ. මෙසේ වෙහෙසට පත් නොවී මුලු රැයෙහිම දහම් අසන්නෙමු ය යන මේ (කරුණ) සඳහා “ආසනානි පඤ්ඤා පෙත්වා” (හෙවත් අසුන් පනවා) යි කියන ලදී.
උදක මණීකං = මහා දිය සැළිය. පතිට්ඨා පෙත්වා = මෙසේ භාග්යවතුන් වහන්සේ ද, භික්ෂූ සංඝයා ද කැමති පරිදි අත් සෝදත්වා, පාද හෝ මුඛය හෝ සෝදත්වා යයි ඒ ඒ තන්හි නිල් පැහැති දිය පුරවා සුවඳ පිණිස නොයෙක් මල් ද, ජලය සඳහා වූ සුවඳ සුණු ද බහා කෙසෙල් පතින් වසා (දිය සැලි) තැබ්බවූහ. මේ බව දැක්වීම සඳහා “පතිට්ඨා පෙත්වා” (පිහිටුවා) යයි කියන ලදී.
තෙලප්පදීපං ආරොපෙත්වා = රිදී රන් ආදියෙන් කළ පන්දම්හි ද, යෝනක දේශීයයන්ගේ රූපවැනි කුඩා රූපවල අත්හි තබන ලද රන් රිදී ආදියෙන් කළ බඳුන්හි ද තෙල් පහන් දල්වා යන අරුතයි.
යෙන භගවා තෙනුපසඞ්කමිංසු = මෙහි වනාහී ඒ ශාක්ය වංශික රජවරු හුදෙක් සන්ථාගාරයම පමණක් නොව යොදුන් ගණන් කපිල වස්තුවෙහි නගර වීථීන් ද හමදවා කොඩි ඔසවා නිවාස දොරටුවල පුන් කලස් ද කෙසෙල් ගස් ද තබවා මුළු නුවරම පහන් සහ මල් ආදියෙන් විසුරුවන ලද තාරකා ඇති තැනක් මෙන් කොට “කිරි බොන දරුවන් හට කිරි පොවනු. බාල දරුවන් හට සැහැල්ලු ආහාර දී නිදි කරවනු. මහත් සේ ශබ්ද නොකරනු, අද එක් රැයක් ශාස්තෲන් වහන්සේ ඇතුළු ගමෙහි වසන්නෝය. බුදුවරු නම් ස්වල්පවූ ශබ්දයට (නිහඬතාවයට) කැමැත්තෝ වෙති” යි බෙර හසුරුවා තුමූ පන්දම් රැගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියහ.
අථඛො භගවා නිවාසෙත්වා පත්තචීවර මාදාය සද්ධිං භික්ඛු සඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිති යස්සදානි භන්තෙ භගවා කාල මඤ්ඤති = මෙසේ වනාහී (දැන් වැඩම කිරීමට සුදුසු කලැයි) කල් දැන් වූ විට භාග්යවතුන් වහන්සේ ලාකඩ රසයෙන් තෙමු රත්කොබෝලිල මලේ පැහැය ගත් රතු පැහැ අඳනය, කතුරකින් පියුම් පතක් කපා වෙන් කළ විට පෙනෙනා සේම (බුදු සිරුරෙහි ඉහළ පහළ වෙනස දිස්වන අයුරින්) නාභිය දෙදණ යන ත්රිමණ්ඩලය වැසෙන සේ හැඳ. රන් හවඩියකින් නෙළුම් මල් මිටියක් වට කරනු මෙන් විදුලියෙහි ශෝභාව දැරු බඳපටිය බැඳ රත් පැහැ කම්බිලියකින් රිදී කුළක් වෙළනු මෙන් ද මලින් සැරසු සියක් රියන් උසැති රන් කණුවෙක්හි පබළු දැලක් දවටනු මෙන් ද, රන් පැහැ චෛත්යයක රතු කම්බිලියෙන් කළ ආවරණයක් යොදන මෙන් ද, ගමන් කරන පුන් සඳ රත් වලායෙකින් වැසෙනු මෙන් ද. කසුන් පව්වක් මතුයෙහි මනාව පැසුණ ලාකඩ රස ඉසිනු මෙන් ද, සිත් කුළු පව්වෙහි මතු පිට විදුලි දහරින් වට කරනු මෙන් ද, සක්වළ සුනෙර, යුගඳුරු පව් හා මහ පොළව සොලවා (අතට) ගත්. නුගපලවන් රතු උතුම් පවුල පොරවා ගඳ කිළිදොරින් නික්මුණ සේක. (එසේ නික්මීම) රන්වන් ගල් ලෙනකින් සිංහයකුගේ නික්මීම මෙන්ද, උදය පර්වත මස්තකයෙන් චන්ද්රයාගේ නික්මීම මෙන් ද වූයේ ය. එසේ නික්මුණ උන්වහන්සේ ගඳ කිළිය අභිමුවෙහි සිටිසේක.
ඉක්බිති උන්වහන්ගේ සිරුරින් වළාකුළු මුවින් නික්මෙන විදුලි දහර කලාප මෙන් රැස් නික්මී අරමෙහි වෘක්ෂයන් රන්වන් දිය දහර වත් කිරීමෙන් රත් පැහැ වූ කොල, මල්, පල, විට මෙන් (රන් පැහැ) කළේය. එවිටම තම පා සිවුරු ගෙන (පැමිණි) මහසඟන බුදු රදුන් පිරිවරා ගත්හ.
බුදුරදුන් පිරිවරා සිටි ඒ භික්ෂූහු මෙබඳු වූහ. (කෙබඳුද යත්) අල්පේච්ඡ සන්තුෂ්ට වූහ. අතිශය විවේකයට පත් වූහ, අන් අය හා නිතර ඇසුරෙන් වෙන්වූහ. ඇරඹු වීර්යය ඇත්තෝ වූහ. (ධර්මය, අවවාද, උපදෙස් ආදිය) කියන්නෝ වූහ, කී දේ ඉවසන්නෝ වූහ, වැරැද්දට චෝදනා කරන්නෝ වූහ, පව ගරහන්නෝ වූහ. සිල්වත් වූහ, සමාධි සම්පන්න වූහ, ප්රඥා සම්පන්න වූහ. විමුක්ති හා විමුක්තිඥාන දර්ශන සම්පන්න වූහ. ඒ භික්ෂූන් විසින් පිරිවරන ලද භාග්යවත්හු රක්තවර්ණ කම්බිලියකින් වට කරනු ලැබු රත්රන් කඳක් මෙන් ද, රත් පියුම් රැසක් මැදට පැමිණි ස්වර්ණමය ප්රාසාදයක් මෙන් ද විරාජමාන වූහ. දුරු කළ දෝෂයන් ඇති, බිඳහළ කෙලෙස් ඇති, ලිහන ලද (කෙළෙස්) ගැට ඇති. සිඳින ලද බැඳුම් ඇති කුලයෙහි හෝ සමූහයා කෙරෙහි හෝ නො ඇලුනා වූ ශාරීපුත්ර. මෞද්ගල්යායන ආදී මහ තෙරවරු මේඝවර්ණ වූ පාංශුකූල චීවරයන් පොරවා නීල වර්ණ මාණික්යමය සන්නාහයෙන් සන්නද්ධ වූ මහා හස්තීන් මෙන් ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ.