5. දුතිය දාරුක්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි කිම්බිලායං = කිම්බිල නම් නගරයෙහි සඞ්කිලිට්ඨං = ආවරණය වූ කාලයෙහි පටන් අසඞ්කිලිට්ඨා නම් ආපත්තිය නැත. සඞ්කිලිට්ඨා නම් ඇවත මෙබඳු වේ. උට්ඨානං පඤ්ඤායති = (ආපතති ශෝධනය සඳහා වූ) මානත් පිරීම සිදු කළ පරිවාස කාලයෙන් නැගී සිටීම දැක්වේ.
6. අවස්සුතපරියාය සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි නවං සත්‍ථාගාරං = අලුත තනවන ලද රැස්වීම් ශාලාවකි. එක්තරා මහා ශාලාවක්ය යන අදහසයි. යුදයට සුදානම් වන කාලයන්හිදී රජවරු එහි සිට මෙපමණක් ඉදිරියෙන් යනු, මෙපමණක් පසු පසින් ද, මෙපමණක් දෙපසින් ද යනු මෙ පමණක් ඇතුන් පිට නගිනු මෙපමණක් අසුන් පිට ද නගිනු මෙපමණක් රථවල සිටිනු මෙසේ සියල්ල (නියම) කරත්. සීමා නිගමනයන් කරති. එබැවින් ඒ ස්ථානය “සන්‍ථාගාර” යයි කියනු ලැබේ. යුද්ධාභ්‍යාස ස්ථානයෙන් පැමිණ යම්තාක් නිවාසයන්හි තෙත් ගොම පිරිබඩ ගෑම් ආදිය කරවත්ද, ඒතාක් දෙතුන් දිනක් ඒ රජවරු එහි සත්‍ථම්භනය (හෙවත් මනස තදකර ගෙන, ශරීරය ද වෙනත් කාර්යයන්ගෙන් වළක්වා ගෙන සිටීම) කරතිය යන අදහසින් සන්‍ථාගාර යන්න යෙදිණ. ඒ රජවරුන් හට එක්ව ගෙන අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්‍ථාගාර නම් වේ. ඔව්හු ගණ රජවරු වන්නාහ. එබැවින් මතු වූ කාර්යය එක් අයකුගේ මතයකින් ප්‍රතික්ෂේප නොවේ. හැමගේම ඡන්‍දයද ලබා ගැනීමට සිදු වේ. එබැවින් සියල්ලෝම එහි එක් රැස් වී අනුශාසනා කරත්. ඒ නිසා එක් වී අර්ථයෙන් අනුශාසනා කරන ගෘහයය යන අදහසින් ද සන්‍ථාගාර නම් වේ. යම් හෙයකින් වනාහී ඔව්හු එහි එක් රැස් වී මේ කාලයෙහි සී සෑමට සුදුසුය. මේ කාලයෙහි වැපිරීමට සුදුසුය යන මේ ආදී පිළිවෙළින් ගෘහ වාසයෙහි කටයුතු සාකච්ඡා කරත්ද, එබැවින් ගෘහ වාසීන්ගේ කුදු මහත් තොරතුරු එහිදී මතුවේය යන අදහසින්ද සන්‍ථාගාර නම් වේ.
අචිර කාරිතං හොති = උළු ගඩොල් වැඩ. සුණු පිරියම් වැඩ. සිතුවම් වැඩ ඈ විසින් සුසැදී දෙව් විමනක් සේ අලුතින් නිම වූ සමණෙනවා = යම් හෙයකින් ගෘහ වස්තු අරක් ගන්නා කල්හි ම දේවතාවෝ තමාගේ වාසස්ථානය (වෙන් කර) ගනිත් ද එබැවින් දෙවියකු විසින් හෝ යනුවෙන් නො කියා “ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ කවරකු විසින් හෝ මනුෂ්‍ය වූවකු විසින් යයි කියන ලදී.
යෙන භගවා තෙනුපසඞ්කමිංසු = රැස්වීම් ශාලාව නිමවන ලදැයි අසා “යමු එය බලන්නෙමු” යයි ගොස් දොර කොටුවේ පටන් සියල්ල බලා මේ රැස්වීම් ශාලාව අතිශයින් මනහරය, සශ්‍රීකවත්ය, කවරකු විසින් මුලින් ම පරිභෝග කරන ලද්දේ නම් අපට දිගු කලක් හිතසුව පිණිස පවත්නේ දැයි සිතා අපගේ ශ්‍රේෂ්ඨ ඥාතීවරයාට පළමුව දිය යුත්තේ වුවද ශාස්තෲහු ම සුදුසුය, දිය යුතු අයකු වශයෙන් ද දීමට ශාස්තෲහුම සුදුසුය. එබැවින් පළමු ව ශාස්තෲන් ලවා පරිභෝග කරවන්නෙමු. භික්ෂු සංඝයාගේ පැමිණීම සලස්වන්නෙමු, භික්ෂු සංඝයාගේ පැමිණීමෙහිදී තෙවළා බුදුවදන් පැමිණියේම වන්නේ ය, ශාස්තෲන් වහන්සේ ලවා තුන් යම් රැය අපහට දහම් කථා කියවා ගන්නෙමු. එසේ අපට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ යයි සනිටුහන් කොට (ශාස්තෲන් වහන්සේ වෙත) පැමිණියහ.
යෙන නවං සන්‍ථාගාරං තෙනුපසඞ්කමිංසු එදවස වනාහී සන්‍ථාගාරය රාජකීයන්ගේ දැක්ම පිණිස කිසියම් අයුරකින් සැරසු දෙව් විමනක් සේ සුසැදුණේ වෙයි. මනාව පිළිදැගුම් කරන ලද්දේ වෙයි. බුදුරදුනට සුදුසු සේ සකස් කොට (අසුන) නො පනවන ලදි. බුදුහු වනාහී ආරණ්‍යයන් පිළිබඳ අදහස් ඇත්තාහුය, ආරණ්‍යයන් ප්‍රිය කරන්නාහුය, ඇතුළු ගමෙහි වසනුවෝ හෝ මනා වසනුවෝ විය හැක. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙනම අසුන් පනවන්නෙමුයි සිතා ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. දැන් වනාහී කැමැත්ත ලබා ගෙන (අසුන්) පනවනු කැමැත්තෝ සන්‍ථාගාරය වෙත පැමිණියහ.
සබ්බසන්‍ථරං සන්‍ථාගාරං සන්‍ථරිත්‍වා = යම් සේ මුලුමනින්ම පැතිරී ගියේ වේද එසේ අතුරා සියල්ලට පළමුව සියලු මංගල කටයුතුවලදී ගොම ඇතිල්ලීම නම් සුදුසු යයි කියා, සුදෙන් පිරියම් කරන ලද්දාවූ භූමිය අමුගොම වලින් පිස දම්මවා පිරිසිදු බව දැන, යම් සේ පෑගුණ තැනෙක පා සලකුණ පෙනේද, මෙසේ (කොකුම් යවන පුෂ්ප, තුවරලා, තුරුක් තෙල් යන) සිවු දෑ ගඳ ආලේප කරවා, ඒ මතුයෙහි නොයෙක් වර්ණකාරකයන්ගෙන් සාදා ගත් සාරය අතුරා. ඒ මතුයෙහි පුළුල් පලස් දමා, ඇතුන් පිට දමන ඇතිරිලි, අසුන පිට දමන ඇතිරිලි, සිංහ රූප යෙදූ ඇතිරිලි, ව්‍යාඝ්‍ර රූප යෙදූ ඇතිරිලි, රන්වන් ඇතිරිලි, සුර්ය ලාංඡන සහිත ඇතිරිලි, විචිත්‍ර වූ ඇතිරිලි ආදී නා නා වර්ණයන්ගෙන් යුත් ඇතිරිලි වලින් ඇතිරිය යුතු හැම ඉඩ කඩක්ම ඇතිරවූහ. එබැවින් “සබ්බ සන්‍ථරං සන්‍ථාගාරං සන්‍ථරිත්‍වා” (හෙවත් සකල විධ ඇතිරිලිවලින් සන්‍ථාගාරය අතුරවා) යයි කියන ලදී.