2. රථූපම සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - සුඛ සෝමනස්ස බහුලො - “මේ තැනැත්තාට කයෙහි සුවය ද, සිතුවිලිවල සොම්නස් බව ද බහුලව පවතී” යන අදහසින් “සුඛ සොමනස්ස බහුලො” යි යෙදිණ. යොනිචස්ස ආරද්ධා හොති - මොහුට (අදාල) කරුණු ද සම්පූර්ණ වූයේ වෙයි. ආසවානං ඛයාය = මෙහිදී ආසවක්ඛය (හෙවත් කෙලෙස් ක්ෂය කිරීම) යනුවෙන් අර්හත් මාර්ගය අදහස් කරන ලදී. ඒ සඳහා (හෙවත් අර්ථ මාර්ගය සඳහා) යන අරුත වේ. ඔධස්තපතොදො රථය මැද සරසට තබන ලද කෙවිට. යොනිච්ඡකං = යම් දිසාවකින් කැමති වේද. යදීච්ඡකං = යම් බඳු වු ගමනක් කැමති වේද, සාරෙය්ය = යවන්නේය. පච්චාසාරෙය්ය = ආපසු හැරෙන්නේය. ආරක්ඛාය = රැකවරණය පිණිස සඤ්ඤමාය = වේගවත් බව අඩු කිරීම සඳහා දමාය තමාගේ සතුට සඳහා ක්රියා කිරීම යටපත් කරනු පිණිස (හෙවත් දමනය පිණිස) උපසමාය = කෙලෙස් සන්සිඳවීම පිණිස
එවමෙව ඛො = යම් සේ අදාන්ත වූ (හෙවත් පුහුණු නො කරන ලද) අසුන් යොදා තැනිතලා නොවන මාර්ගයෙක්හි රථය රැගෙන යන්නා වූ අදක්ෂ රියැදුරුගේ රථචක්ර හෝ බිඳෙයි. චක්ර සම්බන්ධක නාරචය (හෙවත් ඇක්සලය) හෝ බිඳෙයි, අසුන්ගේ කුර හෝ බිඳෙයි, තමා හෝ විපතට පැමිණෙයි, රිසි රිසි සේ ගමන හැසිරවීමට නොහැකි වෙයි. මෙසේ ඉඳුරන් සයෙහි නොවැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය නොකළ) භික්ෂුවට රිසි රිසි සේ ශ්රමණ භාවයෙහි ඇලී සිටීමට, (ශ්රමණ සුවය) විඳ ගැනීමට නො හැකි වෙයි. යම් සේ වනාහී දක්ෂ වූ රියැදුරු දමනය වු අසුන් යොදා සම බිමෙකට රිය පමුණුවා නාස් ලණුව අල්වා ගෙන, අනුන්ගේ කුර පිළිබඳව සිහිය තබාගෙන, කෙවිට රැගෙන දමනය වූ අසුන් මෙහෙයවන්නේ රිසි රිසි සේ ගමනෙහි යෙදෙයි ද, මෙසේ ම ඉඳුරන් සයෙහි වැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය කළ) භික්ෂුව මේ සස්නෙහි රිසි රිසි සේ ශ්රමණ භාවයෙහි ඇලී එහි සුවය විඳියි. ඉදින් අනිත්යය නුවණින් විමසා බැලීමට නුවණ මෙහෙයවනු කැමැත්තේ වෙයි නම් නුවණ ඒ සඳහා යොමු වෙයි. “දුක්ඛය” නුවණින් විමසා බැලීම ආදියෙහිදී ද මෙසේම වේ.
භොජනෙ මත්තඤ්ඤු = ගතයුතු භෝජනයෙහි ප්රමාණය දන්නාවූ, එහිදී පිළිගන්නා ප්රමාණය ද, පරිභෝග කරන ප්රමාණය ද යනුවෙන් ප්රමාණයන් දෙකක් වේ. එහි පිළිගන්නාවූ ප්රමාණය යන්නෙහිදී දායකයාගේ කැමැත්ත දත යුතුය. දියයුතුදෙය පිළිබඳව (දායකයාගේ) කැමැත්ත දත යුතුය. (පරිභෝග කළහැකි ප්රමාණය පිළිබඳව) තමා වෙත ඇති අවශ්යතාවය (භික්ෂුව විසින්) දත යුතුය. මෙබඳුවූ භික්ෂුව වනාහී ඉදින් දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයා ස්වල්පයක් දෙනු කැමැත්තේ නම් ද දායකයාගේ කැමැත්ත අනුව ස්වල්පයක්ම භාර ගනියි. දියයුතු දෙය අල්ප වේ නම් ද දායකයා අධික ප්රමාණයක් දෙනු කැමැත්තේ නම් ද දෙනු ලබන්නාවූ දේ වශයෙන් ස්වල්පයක්ම භාර ගනියි. දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයාත් බොහෝ වූ කොටසක් දෙනු කැමැත්තේ නම් ද තමාගේ අවශ්යතාවය දැනගෙන ගත යුතු ප්රමාණයම (පමණක්) ගනියි. ඒ (භික්ෂු) තෙමේ පිළිගැනීමේ ප්රමාණය පිළිබඳ එම දැනුමෙන් නූපන් (හෙවත් ලැබී නොතිබුණු) ලාභය උපදවයි. (හෙවත් ලබාගනියි) උපන්නාවූ (හෙවත් ලැබුණා වූ) ලාභය ස්ථාවර කර ගනියි.
ධාර්මික වු තිස්ස නම් මහරජුගේ කාලයෙහි (විසූ) සත් හවුරුදු වියැති සාමණේරයන්ගේ සිද්ධිය මෙනි. (එනම්) රජතුමාට වනාහී ගැල් පන්සියයකින් උක්සකුරු ගෙන ආහ. සතුටට පත් වු රජතුමා (තමාට ලැබුණ) පඬුර (වන උක් සකුරු) ආර්යයන් වහන්සේ සමග මිස නොබුදින්නෙමි යි (කියා) ගැල් දෙසිය පනසක් මහා විහාරයට යවා තෙමේ ද උදෑසන අහර ගෙන (එහි) ගියේය. බෙර වාදනයෙන් දොළොස් දහසක් භික්ෂූහු රැස්වූහ. රජතුමා එකත් පස්ව සිටියේ අරමෙහි (කාර්යයෙහි) නියුතු අයකු කැඳවා “රජුගේ දානයෙහිදී නම් පාත්රය පිරෙන පමණටම ගනු ලබන භාජනයක් පුරවාම දිය යුතුය. ඉදින් යම් කිසි (භික්ෂූන් වහන්සේ) නමක් සීමිත ප්රමාණයක් පිළිගැනීමෙහි (අදහසින්) සිටින්නේ (පිරුණු බඳුන) පිළි නොගන්නේ නම් මට දක්වනු” යයි කීවේය.
ඉක්බිති එක් මහ තෙර නමක් “මහා බෝධිය ද, මහා චෛත්යයන් ද වන්දනා කරන්නෙමි”යි චේතිය පබ්බතයෙන් පැමිණ විහාරයට පිවිසෙනුයේ මහාමණ්ඩප ස්ථානයෙහි උක්සකුරු පිළිගන්නාවූ භික්ෂූන් දැක, පසුව පැමිණෙන්නා වූ එක් සාමණේර නමක් අමතා “ඔබට උක් සකුරෙන් ප්රයෝජනයක් නැත්තේ දැ”යි ඇසීය. “එසේය, ස්වාමීනි, (මට ප්රයෝජන) නැත”යි (සාමණේර නම පිළිතුරු දුන්නේය) “සාමණේරයෙනි, අපි අතර මඟ වෙහෙසුනෙමු. එක් දිවුල් ගෙඩියක පමණ වු (උක් සකුරු) පිඩෙකින් අපට ප්රයෝජන ඇත”යි (තෙරණුවෝ කීහ. සාමණේර තෙමේ තලියක් ගෙන තෙරුන් වහන්සේලාගේ වස් පිළිවෙළ අනුව සිට ගත්තේය. ආරාමයේ කාර්යයෙහි නියුතු තැනැත්තා තලියට දැරිය හැකි පමණට පුරවා එසවීය. සාමණේර තෙමේ ඇඟිල්ල සෙලවීය. (හෙවත් ප්රමාණය සෑහේයයි ඇඟවීය) “දරුව සාමණේරයන් වහන්ස. රජවරුන්ගේ දානයෙහිදී ප්රමාණය වන්නේ බඳුන පිරවීමමය. ඒ නිසා තලිය පුරවා ගනු මැනව”යි (ආරාමික නියුක්තයා කීය) “උපාසකය. එසේය. රජවරු වනාහී මහත් වූ අදහස් ඇත්තාහුය. අපගේ උපාධ්යායයන් වහන්සේට වූ කලී මෙපමණම සෑහේ” යයි සාමණේර තෙමේ කීය.
රජ තෙමේ (ආරාම නියුක්තික) ඔහුගේ කථාව අසා “පින්වත, සාමණේර තෙමේ කුමක් කියන්නේදැයි (අසමින්) ඔහු වෙතට පැමිණියේය. ආරාමිකයා “සාමණේරයන්ගේ බඳුන කුඩාය, වැඩියෙන් නොගනී” යයි කීය. “ස්වාමීනි, ගෙනෙන ලද බඳුන පුරවා (උක් සකුරු) ගනු මැනව”යි රජතුමා කීය. “මහරජ, රජවරු වනාහී මහත් වූ (උතුම් වූ) අදහස් ඇත්තෝ වෙති, එසවූ බඳුන පුරවා ම දෙනු කැමැත්තෝය, (එහෙත්) අපගේ උපාධ්යායයන් වහන්සේට මේ ප්රමාණය ම සෑහේ” යයි සාමණේර තෙමේ කීය. රජ තෙමේ “මේ හෙරණ සත්වස් වියැති දරුවෙකි, අදද මොහුගේ මුවින් කිරි සුවඳ පහව ගොස් නැත. (උක්සකුරු) ගෙන කළයෙක හෝ සැළියෙක පුරවා (තබාගෙන) හෙට ද ඉන්පසු දිනයෙහි ද කන්නෙමි යයි නොකියයි. බුදුසස්නෙහි අඩු ලුහුඬු තැන් සෙවිය නො හැක්කේය”යි සිතා “පින්වත්නි, හෙරණුන් කෙරෙහි පැහැදුණෙමි, ඉතිරි ගැල් දෙසිය පනස ද ගෙනවුත් සංඝයාට පූජා කරව”යි මිනිසුන්හට අණ කෙළේය.
ඒ රජ තෙමේ ම එක් දවසක් වටුමසක් බුදිනු රිසි වූයේ “ඉදින් මම අඟුරෙහි පලහා ගත් වටුමසක් බුදිනු රිසියෙමි යි අන්හට කියන්නෙම් නම් යොදුනක් පමණ තන්හි සියලු වටුවන් මුලුමනින්ම වනසා දැමීම කරත්යයි සිතා (තමා තුළ) උපන් ආසාව ඉවසමින් තුන් වසරක් ගත කළේය. ඉන් පසු ඔහුගේ කන්හි සැරව හට ගත්තේය. ඒ (රජ) තෙමේ ඉවසිය නොහැකිවූයේ “අපට උපස්ථාන කරන සිල් රක්නා කිසියම් උවසුවෙක් සිටී දෝහෝයි විචාළේය. “එසේය, දේවයන් වහන්ස, තිස්ස නමැත්තෙක් සිටී, හේ කඩ නො කොට සිල් රකී” (යයි පිළිතුරු ලැබිණ) ඉක්බිති විමසනු කැමැත්තේ ඔහු කැඳවීය. හේ තෙමේ පැමිණ රජු නැමද සිටියේය. ඉක්බිති, “දරුව, තොප තිස්ස නමැත්තෙහි දැ” යි ඔහුගෙන් ඇසීය. “එසේය, දේවයනි,”(ය හේ කීය.) “එසේ නම් යව” (යි කියන) ඔහු ගිය කල්හි කුකුළකු ගෙන්වා එක්තරා පුරුෂයකුට (දී) “යව මේ (කුකුළා) තුන් වැදෑරුම් පිසීමෙන් පිස අපට ඉන් උවටැන් කරන ලෙස තිස්සට කියව”යි අණ කළේය. ඒ (පුරුෂ) තෙමේ ගොස් එසේ කීය. “පින්වත, ඉදින් මේ (කුකුළා) මළ එකකු යයි දන්නෙම් නම් ඒ අයුරින් පිස උවටැන් කරන්නෙමි, ප්රාණඝාතය නම් මම නො කරමි” යි ඒ (සිල්වත්) පුරුෂයා කීය.
හේ තෙමේ ගොස් (ඒ පුවත) රජුට දැන්වීය. රජ තෙමේ “නැවත එක්වරක් යව”යි (ඔහු) යැවීය. හෙතෙම ගොස් “රාජ සේවය නම් බැරෑරුම් ය, මෙසේ නො කරන්න, සිල් සමාදන් වීම නැවත ද කළ හැක්කකි. මෙය පිසින්න” යයි කීය. එවිට ඔහුට තිස්ස තෙමේ “පින්වත. එක් ආත්ම භාවයක් තුළදී ස්ථිරවම සිදුවන එකම දෙය නම් මරණයයි, මම ප්රාණඝාතය නොකරමි” යයි කීය. ඒ (පුරුෂයා) නැවත ද රජුට (ඒ බැව්) සැල කළේය. රජ තෙමේ තෙවන වර ද (දූතයා) යවා (තම අණ) නො පිළිගත් ඔහු ගෙන්වා තමාම ප්රශ්න කෙළේය. (හේ) රජුට පෙරසේම පිළිතුරු දුන්නේය.
ඉක්බිති රජ තෙමේ “මොහු රජ අණ කඩකරයි, යළි හිස්සිඳින කඳ මත තබා මොහුගේ හිස සිඳිවු” යයි (රාජ) පුරුෂයන් හට අණ කළේය. “තර්ජනය කරමින් මොහු ගෙන ගොස් මොහුගේ හිස දඬු කඳ මත තබා (මෙහි) පැමිණ ඒ බව මට සැල කරවු” යයි ඔවූන් හට රහසින් ඇඟවීමක් ද දුන්නේය. ඔව්හු එම පුරුෂයා දඬු කඳ මත හොවා කුකුළා ඔහුගේ අතෙහි තැබූහ.