3. කුම්මොපම සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - කුම්මො = (ඝන) ඇටයකින් යුත් ඉදිබුවා. කිච්ඡපො = “කුම්මො” යන්නටම පර්යාය වචනයකි. අනුනදීතීරෙ = ගඟට යාබදවූම ඉවුරෙහි ගොචර පසුතො = ඉදින් යම් කිසි කුදු මහත් ගෙඩිවර්ග ලබන්නෙම් නම් (ඒවා) කන්නෙමියි අහර පිණිස යෙදුණේ, උත්සාහී වූයේ ඒ සඳහා යොමුවූයේ. සමොදහිත්‍වා = කරඬුවෙක්හි මෙන් ඇතුල්කොට සඞ්කලායති = අඳුන් (මෙන්) තවරයි. සමොදහං = හකුළුවා ගනියි, තැන්පත් කර ගනියි. මෙය (මෙසේ ද) කියන ලද්දේ වෙයි. - යම්සේ ඉදිබුවා අවයවයන් තම කටුව තුළ ඇතුල් කර තබා ගන්නේ සිවඟට (තමා) මැඩ පැවැත්වීමට (අවසරයක්) නො දෙයි ද, සිවලාට ද ඉදිබුවා මැඩ පැවැත්වීමට නො හැකි වෙයි ද එසේම භික්ෂු තෙමේ තමාගේ මනො විචක්ක (හෙවත් සිතුවිලි) සිය අරමුණු නමැති කටුව තුළ ඇතුල් කර තබා ගන්නේ කෙලෙස් මරුට ඇතුල් වීමට (ඉඩක්) නොදෙයි. මාරයාට ද ඒ භික්ෂුව මැඩ පැවැත්වීමට නො හැකි වෙයි.
අනිස්සිතො = තෘෂ්ණා දෘෂ්ටි යන ආශ්‍රවයන්ගෙන් වෙන්වූයේ අඤ්ඤමහෙඨයානො = අන් කිසි පුද්ගලයකුට හිංසා නො කරන්නේ. පරිනිබ්බුතො = ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ නඋපවදෙය්‍යකඤ්චි = අන්‍ය වූ කිසියම් පුද්ගලයකු (ඔහුගේ) සීලයට විපතක් කරගත් විට හෝ (මනා) ආචාර ධර්මයන් හට විපතක් කරගත් විට හෝ (එසේ නැත හොත්) තමා උසස් කොට දක්වනු කැමැත්තෙන් හෝ අන් අය අනුන් පහත් කොට දක්වනු කැමැත්තෙන් හෝ (ඒ පුද්ගලයාට) දොස් නො කියන්නේ ය. අන් අයුරකින් (මෙසේ) ද කිව හැක. (ශ්‍රද්ධා, ශීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා යන) පස් වැදෑරුම් ධර්මයන් (තමාගේ) සිතෙහි පිහිටුවා (අදාල පුද්ගලයාගේ දෝෂය පිළිබඳව ඔහුට) “සුදුසු කල්හි කියමි, නුසුදුසු කල්හි නො කියමි, සිදුවූ දෙය ම කියමි. නො සිදුවූ දෙයක් නො කියමි, සන්සුන් ලෙස කියමි. පරුස ලෙස නො කියමි, ප්‍රයෝජන වන පිණිස කියමී, දෝෂාරෝපණය පිණිස නො කියමි” ය යනුවෙන් මෙසේ උසස් අරමුණින් යුතුව කථා කිරීමේ ස්වභාවය සහිත සිතින් යුතුව ම වාසය කරයි.
4. දාරුක්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - අද්දස = ගංතෙරෙහි පනවන ලද උතුම් වූ බුද්ධාසනයෙහි වැඩ හුන් සේක් (එය) දුටහ. උය්හමානං = සතරැස්ව සිටින සේ සැස පර්වතයක් අතුරෙහි තබන ලදුව (එම දැව කඳ) වාතය හා අව්ව විසින් මනාව වියලනු ලැබ, වර්ෂා කාලයෙහි වැසි වසින කල්හි ජලයෙහි පාවී අනු පිළිවෙළින් ගංගා නම් නදියෙහි ජල පහරෙහි පතිතව එම ජල පහර විසින් ගෙන යනු ලබන්නේ. භික්‍ඛු ආමන්තෙසි = මෙම දැව කඳ හා සමාන කොට, මාගේ සස්නෙහි සැදැහැයෙන් පැවිදි වූ කුල පුතු දක්වන්නෙමි යි දම් දෙසනු කැමැත්තෙන් ආමන්ත්‍රණය කළහ. අමු මහන්තං දාරුක්‍ඛන්‍ධං ගංගාය නදියා සොතෙන උය්හමානං = යන මෙය වනාහී අෂ්ට විධ දෝෂයන්ගෙන් මිදුණ බැවින් (දෝෂ විරහිතව තිබී) ජල පහරට වැටුණ දැව කඳට, මුහුදු බත් වීම නිසා සිදුවන අන්‍ය වූ අන්තරායකාරී දෝෂයන් අටක් දැක්වීම ඇරඹූහ.
එහිදී අෂ්ට දෝෂයන්ගෙන් මිදී පවත්නා බව මෙසේ දතයුතුය. එක් දැව කඳක් (හෙවත් රුකක්) ගංගා නම් නදියට නුදුරෙහි පර්වත තලයෙක උපන්නේ නානා විධ ලතාවන්ගෙන් වෙලී ගියේ කොල වියලී කහ පාටට පැමිණියේ වේයන් ආදීන් විසින් කනු ලබන්නේ ඒ ස්ථානයෙහිම අභාවයට පැමිණෙයි. මේ දැව කඳ ගඟට වැටී (ගඟේ) වක්කළම්හිදී අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට ඉඩක් නො ලබයි.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගං තෙරෙහි (ගඟෙන්) බැහැරට ගිය මුල් ඇතිව (ගඟෙහි) ඇතුළු දෙසට ශාඛා ඇතිව උපන්නේ වෙයි. කෙසේ හෝ කලින් කල එල්ලෙන අතුවලින් ජලය ස්පර්ශ කරයි. බැහැරට මුල ඇති බැවින් ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණි නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගඟ මැදෙහි උපන්නේ (හෙවත් රෝපිත වූයේ) දැඩිව පිහිටි මුලෙන් මනාව පිහිටියේ වෙයි. බැහැරට විහිදුනා වූ වක් වූ ශාඛා නානාවිධ ලතාවන්ගෙන් වෙලී ගියේ වෙයි. මෙය ද දැඩිව පිහිටි මුල ඇති බැවින් ද බැහැරින් ආ ලතාවන්ගෙන් බැඳී ඇති බැවින් ද ගතට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
[missing trans]
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගල් දෙකක් අතරෙහි හටගත් බැවින් මනාව සිටවනු ලැබුවක් මෙන් නිසලව සිටියේ එන එන දිය දෙපසට වෙන් කරයි. මෙය ගල් අතරෙහි මනාව පිහිටි බැවින් ඒ ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නො ලබයි.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) එළිමහන් තන්හි අහස පුරා විහිදුණ ලතාවන්ගෙන් වෙලී සිටියේ වසර එකක් දෙකක් ඉක්මවා මහ සැඬ පහර පැමිණි කල්හි වරක් හෝ දෙවරක් තෙමෙයි. මෙය අහසපුරා (විහිදී) සිටි බැවින් ද වසර එකක හෝ දෙකක ඇවෑමෙන් වරක් හෝ දෙවරක් තෙමී ගිය බැවින් ද ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නොලබයි.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගඟමැද කුඩා දිවයිනක හට ගත්තේ මෘදු වූ කඳක් හා ශාඛා ඇත්තේ සැඩ පහර පැමිණි කල්හි සැඩ පහරට අනුව වැටී ජලය (බැස) ගිය කල්හි හිස ඔසවා නටන්නකු මෙන් සිටියි. “එම්බා ගංගාවෙනි. ඔබ මා හට සඳුන් අරටු ද සළල (නම් සුවඳැති ගස් වර්ගයේ අරටු ආදිය ද යන දැව ගෙන එන්නෙහිය, දැව කඳන් නම් නොගෙනෙන්නෙහිය. මෙය ඊළඟ වර්ෂා වාරයෙහි දැන ගන්නෙමි” යි යන මෙබන්දක් යමක් සඳහා සාගරය ගංගාවට කියයි ද, ඊළඟ (වර්ෂා) වාරයෙහි තඹ පැහැති ජලය විසින් (වෘක්ෂයන්) වැළඳ ගනු ලබන්නාක් මෙන් එන කල්හි එම රුක ද ජල පහරට අනුව වැටී දිය (බැස) ගිය කල්හි හිස ඔසවා නටන්නකු මෙන් සිටියි. මේ ගස තමාගේ මෘදු භාවය නිසා ගඟට වැටී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට (ඉඩ) නොලබයි.
වෙනත් දැව කඳක් (හෙවත් රුකක්) ගංගා නම් නදියෙහි සරසට පතිත වූයේ වැල්ලෙහි එරුණේ දෙතෙර අතර ඒ දණ්ඩක් මෙන් (පවතිමින්) බොහෝ දෙනාගේ යහපත පිණිස හේතු විය. ඉවුරු දෙකෙහි උණ, බට, කඳ, කුඹුක් ආදී ගස්වර්ග දියෙහි මතු වී එහිම ඇලී ගැලී පවතී. එසේ ම පාවෙන්නා වූ විවිධ වර්ගයේ ගස් ද, බිඳුණ මෝල් ගස් වන කුළු ද. සර්ප සුනඛ හස්ති, අශ්ව ආදී මළ කුණු ද එහිම ඇලී ගැලී පවතී. මහ ගඟ ද එහි ගැටී බිඳී දෙකට බෙදී යයි. මත්ස්‍ය, කැසුබු, කිඹුල්, මෝර ආදීහු ද එහිම වාසය කරති. මේ ගස ද සරස්ව වැටී මහජනයාට යහපතක් කළ බැවින් ගඟෙහි ගිලී වක්කළම්හි අලංකාරවත් වෙමින් සයුරට පැමිණ නිල් පැහැති ජල තරංග මතුයෙහි ශෝභමාන වීමට නොලබයි.